රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් ඝාතකයෙකු යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය හමුවේ, අන්තර්ජාලය හරහා විවෘත සාකච්ඡාවකට පැමිණෙන්න යැයි රුසියානු නායකයා විසින් ඇමෙරිකානු නායකයාට විවෘත අභියෝගයක් සිදුකර තිබේ.
පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, 2020 එක්සත් ජනපද මැතිවරණයට අතපෙවීම සඳහා පූටින් දැරූ උත්සාහය වෙනුවෙන් ඔහුට පාඩුව ගෙවීමට සිදුවනු ඇතැයි යනුවෙන් ජෝ බයිඩන් යම් අනතුරු ඇඟවීමක් කළේය.
එහිදී රූපවාහිනී සාකච්ඡාව මෙහෙයවූ නිවේදකයා විසින් පූටින් මිනීමරුවෙකු යැයි ඔබ සිතන්නේ දැයි බයිඩන්ගෙන් ප්‍රශ්න කළ විට, "හම්... මම හිතනවා" යැයි බයිඩන් පිළිතුරු දුන්නේය.
බයිඩන්ගේ මෙම අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුවී නොමැති බවය. බයිඩන් රුසියාව සමග සබඳතා වැඩිදියුණු කිරීමට අනිවාර්යයෙන්ම කැමැත්තක් නොදක්වන බවත්, දෙරට අතර සම්බන්ධතාව මේ හරහා ඉතා නරක අතට හැරෙන බවත් ඔහු පැවසීය.
මෙහිදී විශේෂත්වය වූයේ රුසියානු නායක ව්ලැදිමීර් පූටින් විසින්ම ඊයේ (18දා) බයිඩන්ට ප්‍රතිචාර දක්වමින්, "අපගේ සාකච්ඡාව දිගටම කරගෙන යාමට ජනාධිපති බයිඩන්ට අවස්ථාව ලබාදීමට මම කැමතියි. නමුත් කොන්දේසියක් මත අපි එය සජීවීව, ඔන්ලයින් සාකච්ඡාවක් විදියට පවත්වමු. පූර්ව පටිගත කිරීමකින් තොරව, විවෘත හා සෘජු සාකච්ඡාවකට මම බයිඩන්ට ආරාධනා කරනවා." යැයි කියා සිටියේය.
"එය මට පෙනෙන විදියට, රුසියානු ජනතාවට වගේම, එක්සත් ජනපද ජනතාවට මෙන්ම තවත් බොහෝ රටවලට සිත්ගන්නාසුළු වනු ඇති" පූටින් තවදුරටත් පැවසීය. රුසියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පූටීන් අද (19දා) හෝ සඳුදා සාකච්ඡාව පවත්වන ලෙස බයිඩන්ට ආරාධනා කර ඇති බවයි.