ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයක් , ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් සහ ව්‍යාජ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් භාවිතා කරමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ප්‍රංශයට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණියකි .
අද දින අලුයම 3.45 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාම සදහා කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සදහා මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය,කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබූ හෙයින් , එම නිලධාරීන් මෙම ලේඛන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් භාර දී තිබේ .
එහිදී එම නිලධාරීන් මෙම තරුණිය ඉදිරිපත් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි විමර්ශනයට ලක් කරන්නට විය .
එම නිලධාරීන් සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලින් පසුව , ඇය ඉදිරිපත් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය , කූඨ ලෙස සකස් කළ එකක් බවත් , එහි සටහන් කර තිබූ ආගමන විගමන මුද්‍රා සියල්ල ද ව්‍යාජ ඒවා බවත් තහවුරු කර ගෙන තිබුණි .
ඉන් අනතුරුව මෙම තරුණියගේ පරීක්ෂා කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඇයගේ ගමන් මල්ලක් තුළ තිබී ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද සොයාගෙන තිබුණි .
ඇය මෙම ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය , මෙරටින් පිටත්වීම සදහා , මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට සැළසුම් කර ගෙන සිටි බව , ඇයගෙන් මේ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය කර ගෙන තිබුණි .
එහෙත් මෙම ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයේ ද , සටහන්ව තිබූ ආගමන විගමන මුද්‍රා සියල්ල ද , ව්‍යාජ ලෙස සටහන් කර තිබූ ඒවා බව , සිදු කරන ලද තාක්ෂණික පරීක්ෂාවන්ගෙගෙන අනාවරණය වී තිබුණි .
එමෙන්ම මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට ඉදිරිපත් කිරීම සදහා සූදානම් කර තිබූ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද , මෙම නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
ඇය මෙම කූඨ ලියකියවිලි ඉදිරිපත් කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , එතැනින් ඉතියෝපියාවේ අඩිස්අබාබා වෙත ගමන් කර , ඉන් අනතුරුව බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බෙනින් වෙත පිටත්ව යන බව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට හැගවීම සදහා , ඇය සූදානම් වී සිටි බව ,
මෙම නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වල දී අනාවරණය කර ගෙන තිබුණි .
එහිදී මෙම තරුණිය කටාර් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ප්‍රංශ ගුවන් බලපත්‍රය , ඉදිරිපත් කර ලබා ගන්නා ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ද , මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් නොකිරීමට ඇය සූදානම් වී සිට තිබේ .
ඇයගේ සැබෑ ගමනාන්තය ලෙස සැළසුම් කර තිබූණේ කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාම බව මෙම විමර්ශන වල දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වනවිට තහවුරු කර ගෙන තිබුණි .
තවද මෙම තරුණිය මෙරටින් පිටවීම සදහා ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ පී.සී.ආර්.
පරීක්ෂණ වාර්තාව ද , කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛනයක් බව , වැඩිදුරටත් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වල දී අනාවරණය කර ගෙන තිබුණි .
ඉන්පසුව මෙම තරුණිය අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇයත් , ඇය ඉදිරිපත් කළ ලියකියවිලි ද සමගින් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .