කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු ඊයේ (27) දින කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 31 හැවිරිදි යාපනය නගරය ආශ්රිත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
ඔහු ඊයේ දින උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් , එතැන් සිට ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් පසු , විගමන අංශය වෙත පැමිණෙමින් සිටි මෙම තරුණයාගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා , ඔහු විගමන කවුළුව වෙත යෑමට පෙර , ඔහු නවතා , ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකට ලක් කළ අතර , එහිදී ඒවායේ තිබූ වෙනස්කම් කීපයක් හඳුනා ගැනීමට ඔහු සමත් විය.
ඉන්පසුව එම ලිපි ලේඛන දේශසීමා ආවේක්ෂණ ඒකකය සතු නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් පරීක්ෂාවන්ට ලක් කළේය .
එහිදී එම ගුවන් ගමන් බලපත්‍රය මතු පිටින් ඔහුගේ ජායාරූපය අලවා , ආගමන විගමන නිලධාරීන් නොමග යැවීම සඳහා කූඨ ලෙස සකස් කර ඇති බව එම ඒකකයේ ස්කෑන් පරීක්ෂණ වල දී තාක්ෂණික නිරීක්ෂණ මගින් හෙළිදරව් කර ගනු ලැබීය .
තවදුරටත් ඔහුව පරීක්ෂාවට ලක් කරද්දී , ඔහු හැද සිටි කලිසමේ සාක්කුවක කටුනායක සිට මාලදිවයින දක්වා ගමන් කළ හැකි ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සමග ව්‍යාජ ලෙස සකස් කළ මාලදිවයින දක්වා ගමන් කිරීමට යොදා ගැනීමට සූදානම් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් විය .
වැඩිදුරටත් මෙම තරුණයා ප්‍රශ්න කිරිම් සහ සෝදිසි කිරීම් වලට ලක් කරද්දී මඩකලපුව , කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයෙකු වෙත ප්‍රංශය ඔස්සේ ස්පාඤ්ඤය වෙත යෑම සදහා නීත්‍යනුකූලව නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් , රසායනික ද්‍රව්‍ය මගින් සෝදා , යළි ඒ මත මෙම තරුණයාගේ තොරතුරු මුද්‍රණය කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන්ට හැකි විය .