චීනය විසින් නිපදවන ලද සීනොෆාම් එන්නත් 500,000ක් වෙනිසියුලාවට ලබාදී ඇති බව එරට ජනාධිපති නිකොලස් මදුරෝ නිවේදනය කළේය.
"මේ මොහොතේ කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් වෙනිසියුලාවට පැමිණෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවෙන් බව මා ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිනවා. මෙය අපූරු ප්‍රවෘත්තියක් වන අතර එය අපට මහත් බලාපොරොත්තුවක් ඇති කරනවා. ළඟදීම අපි අපේ ජනතාවට විශාල වශයෙන් එන්නත් ලබාදීම අරඹනවා." මදුරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.
වෙනිසියුලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සීනොෆාම් එන්නත සඳුදා දිනයේ අනුමත කළේය.
"වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන්, අපගේ ආදරණීය නිජබිම කෙරෙහි දක්වන නොසැලෙන සහයෝගීතාව සහ සහයෝගය වෙනුවෙන් අපගේ සහෝදර ජනාධිපති ෂී ජින්පිං සහ උදාර චීන ජනතාවට මා ස්තූතිවන්ත වෙනවා" වෙනිසියුලා ජනපති මදුරෝ වැඩිදුරටත් පැවසීය.
පෙබරවාරි මස මුලදී රුසියානු ස්පුට්නික් V එන්නත 100,000ක් ලබාගත් වෙනිසියුලාවට ළඟා වූ දෙවැනි එන්නත මෙයයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව වෙනිසියුලාවේ දැනට අවම වශයෙන් කෝවිඩ් -19 ආසාදිතයන් 140,000ක් සහ මරණ 1,350ක් පමණ වාර්තා වී තිබේ.