වන අලි රකින්න යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියක්
ශ්රී ලංකාවේ වන අලි සහ ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම වන අලි-මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් වනජීවී දෙපාර්තමේන්තුව, ත්රිවිධ හමුදාව සහ අදාළ පාර්ශ්වයන් එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් කේ. වී. නිලන්ත පී. ප්රේමරත්න මහතා, පරිසර අමාත්යාංශ ලේකම්වරයා, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, හමුදා බුද්ධි අංශ හා ඩ්රෝන මෙහෙයුම් අංශ නියෝජිතයින් සහ Wild Tusker පරිසර සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පරිසර අමාත්යංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ මූලික තීරණ රැසකට එළඹිණි.
ඒ අනුව, ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීම සඳහා අවධානය යොමු වූ අතර මෙම ඒකාබද්ධ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්ර කරගනිමින් විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවනු ලබන අතර, ඊට වනජීවී නිලධාරීන්, පශු වෛද්යවරුන් සහ ත්රිවිධ හමුදා නිලධාරීන් අනුයුක්ත කෙරෙනු ඇත.
අවදානමට ලක්ව ඇති ඇතුන් නිරීක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් අධික අවදානම් සහිත කලාපවල සැරිසරන බවට හඳුනාගෙන ඇති ඇතුන් කෙරෙහි කඩිනම් ආරක්ෂක පියවර ක්රියාත්මක වේ. ඔවුන් ගමන් කරන මාර්ග නිරීක්ෂණය කරමින් යුද හමුදා විශේෂ ආරක්ෂක අනුඛණ්ඩ යෙදවීමට කටයුතු සූදානම් කෙරෙනු ඇත.
විශේෂයෙන් අලි-ඇතුන් ඝාතනය, හක්කපටස් භාවිතය සහ වන සතුන්ට එරෙහි වෙනත් අපරාධ වැළැක්වීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කෙරෙන අතර ගැටුම් පවතින ප්රදේශ ආශ්රිතව ඒකාබද්ධ හදිසි වැටලීම් තීව්ර කිරීමටත්,වනජීවී අපරාධ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ විශ්වාසදායක පද්ධතියක් ගොඩනැගීම, සතුන් රෝගී වූ විට මහජනතාව ඒකරාශී වීම පාලනය කිරීම සහ වන සත්ව ආරක්ෂණය පිළිබඳ ප්රජා දැනුවත්භාවය වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
සතුන් හැසිරවීම සහ ක්ෂේත්ර රාජකාරි සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශේෂ පුහුණුවක් ලබාදීමටත්, වනජීවී නිලධාරීන්ට හමුදා කඳවුරු තුළ නවාතැන් හා ක්ෂේත්ර පර්යේෂණ පහසුකම් සැපයීමටත් එකඟතාව පළ විය.
මෙහෙයුම් සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා සතිපතා දත්ත සමාලෝචනයක් මෙන්ම මසකට වරක් ප්රධාන පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට තීරණය වූ අතර වන සම්පත රැකගැනීමත්, මිනිස් ජීවිත මෙන්ම වන අලි-ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමත් වෙනුවෙන් රාජ්ය අංශය සහ ආරක්ෂක අංශ එක්ව ක්රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ කඩිනමින් බිම් මට්ටමින් ක්රියාත්මක කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

