COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග දැනට මෙරට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් සහ තවත් විවිධ කරුණු නිසා පීඩාවට පත්ව සිටින විදෙස් සංචාරකයන්ට සිය මව් රටවල් බලා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහිදී සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි වරලත් ගුවන් ගමන් සඳහාද ඉඩ ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එම අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.
මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මාර්තු 25 වැනිදා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039කි. ඒ අනුව එම පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට විදේශ අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරන බවත් පවසා සිටියි.
විශේෂයෙන්ම දැනට රජය පනවා ඇති නීතිය අනුව ගුවන් මගීන්ට රට තුළට පැමිණීම් අත්හිටුවීමක් සිදුවුවද, සියලු පිටත්වීම් සඳහා අවසර ඇති බවත්, දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියේ ලන්ඩන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ජපානයේ නරීටා යන ගුවන් තොටුපොළ වෙත දිනපතා සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත් අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලෙස ඕනෑම රටකට ඔවුන්ගේ පුරවැසියන් නැවත ගෙන්වා ගැනීමට පහසුකම් සැලසුම් කර ඇති බවත්, ඉල්ලීම පරිදි වරලත් ගුවන් ගමන් සඳහාද ඉඩ ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් පවසා සිටියි.
ඒ අනුව එම සංචාරකයන් ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහනය සඳහා සහාය වන ලෙස ඔවුන්ට සත්කාරකත්වය සපයන සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන්ගෙන් අධිකාරිය මෙම මොහොතේ කාරුණිකව ඉල්ලීමක් සිදු කරයි.
එහිදී දැනට පවතින ඇඳිරි නීතිය යටතේ මගීන්ට මෙන්ම එම වාහනයට සහ රියදුරාටද ගුවන් ටිකට් පත ඇඳිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීමේ අවසරය ලබා දීමටද වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියි.
එසේම ගුවන් තොටුපොළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයන්ට, ළගම පිහිටි පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක හදිසි ඇමතුම් අංකය වන 1912 අමතන ලෙසද අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.