කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂිෆි සියාබ්දීන් මහතාට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට අදාළව මේ වන විට ප්‍රකාශ 758ක් ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි විමර්ශන කටයුතු භාරගත්තේ පසුගිය මාසයේ 27 වැනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ රාශියක් සටහන් කරගෙන තිබෙනවා. සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුන් 601කගේත්, විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් හතකගේත්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්යවරයෙකුගෙත්, නෙමේරූ ළඳරු පිළිබඳ වෛද්‍යවරු හයකගෙත්, සිසේරියන් සැත්කම සිදුකරන වෛද්‍යවරයාට සහාය ලබාදෙන වෛද්‍යවරු 11කගේත්, නිර්වින්දන වෛද්‍යවරු 10කගේත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
සිසේරියන් සැත්කමකට හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සම්බන්ධ වෙනවා. එවැනි හෙද නිලධාරින් 70කගෙන් හා ප්‍රධාන හෙද නිලධාරිනියකගෙත්, සැත්කමට සහාය වන උපස්ථාන සේවකයන් 18කගෙත් , මෞත ලිංගික විශේෂඥවරුන් එක් අයෙකුගෙත්, කුරූණෑගල රෝහල් අධ්යක්ෂවරයාගෙන් හා වෙනත් ප්‍රකාශ 31ක් ඇතුළුව මේ වන විට සිද්ධියට අදාළව ප්‍රකාශ 758ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගෙන තිබෙනවා.
වෛද්‍ය සාෆිගේ ප්‍රකාශය අවස්ථා ගණනාවකදී සටහන් කරගෙන තිබෙනවා. නඩුව 27 වැනිදා කුරූණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි. එදිනම මෙම ප්‍රකාශවල සාරාංශයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමටත් නියමිතයි. ”