ලංකා වතු සේවක සංගමයේ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක නිරත වෙමින් අද (26) පෙ.ව. 10.30 ට පමණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මස්කෙළිය, මාවුස්සාකැලේ මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණයට එක්ව සිටි ලංකා වතු සේවක සංගමයේ හැටන් ප්‍රදේශයේ උපසභාපති සෙල්ලදොරේ මනෝහරන් මහතා මෙහිදී කියා සිටියේ, මස්කෙළිය වැවිලි සමාගම ඇතුළුව වැවිලි සමාගම් 18 ක් එක්ව මෙම මස 06 වන දින වතු සේවක සංගමය සමග අත්සන් තබන ලද එකඟතා ගිවිසුම අනුව 25% ක වැටුප් වැඩිකිරීමකට එකඟතාව පළ කර බවත්, රිචඩ් පීරිස් සමාගම යටතේ මස්කෙළිය, නමුණුකුල හා කෑගලු යන වැවිලි සමාගම් වලට අයත් වතුවල එම වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතු නොකර දීමනාවක් වශයෙන් ලබා දෙන බවය.
මෙම හේතුව නිසා තමන්ගේ සේවක අර්ථ සාධක හා සේවා නියුක්තිකයින්ගේ අරමුදල සමග ලැබෙන අනෙකුත් දීමනා සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය. මෙම අසාධාරණය හේතුවෙන් මස්කෙළිය වැවිලි සමාගමට අයත් වතු 10 සාමාජිකයින් මෙම මස වැටුප ලබා ගැනීම වර්ජනය කරමින් මෙම උද්ඝෝෂණයට එක්වූ බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝහරන් මහතා කියා සිටියේ, 25% වැටුප් වැඩි කිරීම මූලික වැටුපට එකතු කර ලබා දෙන ලෙස මස්කෙළිය වැවිලි සමාගමේ වගකිවයුත්තන්ට හා අනෙකුත් බලධාරීන්ට දැනුම් දුන්නද මේ දක්වා ඊට විසඳුමක් ලබා දී නොමැති බවය. මෙම (29) වන දිනට පෙර තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා නොදුනහොත් ලබන මස (05) වෙනි දින සිට ලංකා වතු සේවක සංගමය මගින් අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවය.
මෙම උද්ඝෝෂණයට මස්කෙළිය වැවිලි සමාගමට අයත් මස්කෙළිය ප්‍රදේශයේ පිහිටි, ස්ට්රැත්ස්පී, බ්‍රන්ස්වික්, මෝකා, ග්ලැනුජි, ලක්ෂපාන, මරේ, ග්ලෙන්ටිල්ට්, මාවුස්සාකැලේ, හපුගස්තැන්න, බ්‍රවුන්ලෝ හා ඩීසයිඩ් යන තේ වතු 10 ක සාමාජිකයින් 200 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

