වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට අද (10) දින එක්වෙමිනි.
වතු ජනතාවට පුරවැසිභාවයවත් ලබා නොදුන් ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට වතු ජනතාව ආරක්ෂා කළ නොහැකි බවත්, දොළොස් ලක්ෂයක් වූ වතු කම්කරු ජනතාවට තම පියාණන් පුරවැසිභාවය ලබා දුන් සේම, වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් තම පණටත් වඩා ආරක්ෂා කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,
“රටට වැඩිම විදේශ විනිමය ලබා දෙන්නේ වතු ජනතාවගේ ශ්‍රමයයි. ඔබේ ශ්‍රමය ගසා කන්නට අප කිසිවිටක ඉඩ තබන්නේ නැහැ. වතු ජනතාවට ලැබෙන පහසුකම් ඉතාම අඩුයි. එම නිසා ඔවුන්ට සියලු පහසුකම් ලබා දීමට අප කටයුතු කරනවා. වතු ජනතාව කම්කරුවන් ලෙස නොව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම මාගේ අරමුණයි. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුගත කර ලාභදායී කර්මාන්තයක් බවට පත් කරනවා.
මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ‘කදුරට ජනතාව’ ලෙස වතු ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිච්ජේදයක් ඉදිරිපත් කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1,500 ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා. එළඹෙන 16 වැනිදායින් පසුව වතු ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඔවුන්ගේ සුබ සාධනය මගේ අතට ගෙන කටයුතු කරනවා. ලයින්කාමරවල සිටින වතු ප්‍රජාව වෙනුවෙන් පර්චස් 10ක ඉඩමක, තනි නිවාස ඉදිකර දීමට අප කටයුතු කරනවා. හැමදාම අපිව ශක්තිමත් කළ වතු ප්‍රජාව මෙවර ප්‍රේමදාසගේ පුතා රැක ගන්නවා.
ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට වතු ජනතාව රැක ගන්නට පුළුවන්ද ? පල්ලි, කොවිල්, දේවස්ථාන කඩන පුද්ගලයින්ටවතු ප්‍රජාව රැක ගන්නට පුළුවන්ද ? මා හොඳ සිංහල බෞද්ධයෙක්. බුදුදහමට මුල්තැන ලබා දෙමින් අනෙකුත් ආගම් සහ ජාතීන් රැක ගන්නවා. 16 වැනිදායින් පසුව වතු ජනතාවට සුපිරි ජන ජීවිතයක් මා උදා කර දෙනවා” යනුවෙන් පැවසීය.