කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අතථ්‍ය රැස්වීමක් අතරතුර නිරුවතින් සිටින දසුනක් ප්‍රචාරය වීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
කැනේඩියානු පාලක පක්ෂයේ නීති සම්පාදකයෙකු වන විලියම් ආමොස් සති කිහිපයක් ඇතුළත මේ ආකාරයෙන් පාර්ලිමේන්තු අතථ්‍ය රැස්වීමක් අතරතුර නිරුවතින් පෙනී සිට ඇති දෙවැනි අවස්ථාව මෙය බව කියයි.
කැනඩාවේ පාලක ලිබරල් පක්ෂය නියෝජනය කරන ආමොස්, "මම කැමරාවේ සිටින බව නොදැනයි එසේ ක්‍රියා කළේ" යනුවෙන් සිය ට්විටර් ගිණුමේ සමාව ඉල්ලන ලිපියක් පළ කර ඇත. එමෙන්ම මෙම ක්‍රියාවෙන් තමන් දැඩි ලෙස ලැජ්ජාවට පත්වූ බවද ඔහු කියා තිබේ.
"අහම්බෙන් සිදුවූ මේ දෙය මහජනයාට නොපෙනුණත්, මෙය සම්පූර්ණයෙන්ම සිදුනොවිය යුත්තක්. ඒ ගැන මා නොවරදවාම සමාව ඉල්ලා සිටිනවා" ආමොස් පැවසීය.
ඔහු පසුගිය අප්‍රේල් මස 14දා පාර්ලිමේන්තු වීඩියෝ ඇමතුමක් අතරතුර මේ ආකාරයේම නිරුවත් පෙනී සිටීමක් සිදුකර ඇති අතර, ඒ අවස්ථාවේදිද ඔහු සමාව ඉල්ලා සිටියත්, එම දසුන් එරට සමාජ මාධ්‍යවල දැඩිව හාස්‍යයට ලක්ව තිබුණි.
එරට කාටූන් ශිල්පීන් පවා මෙම සිදුවීම හාස්‍යයට ලක්කර තිබුණේ, කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණවලට අමතරව, කලිසම්ද ඇඳගෙන සභාවාරයට සහභාගී වීමට අමතක නොකරන ලෙස සිහිපත් කරන දේශපාලන කාටූන් සමගිනි.
ඒ අනුව මෙම නවතම සිදුවීමත් සමග ඔහු කැනේඩියානු පාර්ලිමේන්තුවේ නවෝත්පාදන, විද්‍යා හා කර්මාන්ත අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇත.
"මම පාර්ලිමේන්තු ලේකම් වශයෙන් මගේ කාර්යභාරයෙන් සහ කමිටු රාජකාරිවලින් තාවකාලිකව ඉවත්ව යෑමට තීරණය කළා." කෙසේ වෙතත් තමා තවදුරටත් මන්ත්‍රීවරයකු ලෙස සේවය කරන බව ඔහු පැවසීය.
මීට පෙර පරිසර නීතීඥයෙකු ලෙස සේවය කර ඇති ආමොස්, 2015 වසරේදී ප්‍රථම වරට කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරයෙකි.