ආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බවත්, එම තොග සෑහෙන පරිදි පවතින බවත් සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය චාන් චුන් සිං එරට ජනතාවට පවසයි.
"අපගේ තේරීම්වල යම් යම් වෙනස්කම් කිරීමට අපට සිදුවිය හැකියි. නමුත් අපි වගකීමෙන් යුතුව මිලදී ගන්නා තාක්, සියලු සිංගප්පූරු වැසියන් සඳහා ප්‍රමාණවත් සැපයුම් අප සතුව පවතිනවා" යැයි චෑන් මාධ්‍ය හමුවකදී පැවසීය.
සිංගප්පූරුව තමන් පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවලින් 90% ක් ආනයනය කරන අතර මෑත සතිවලදී ආහාර හිඟයක් ඇතිවනු ඇතැයි යන බියෙන් වැඩිපුර අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවක් එරට ජනතාව තුළ දැකිය හැකි විය.
මැලේසියානු ජනතාවට විදෙස්ගතවීම තහනම් කර රට පුරා දැඩි පාලනයක් පැනවෙන බව නිවේදනය කිරීමත් සමග සිංගප්පූරු ජනතාව තුළ මෙම අනියත බිය ඇති වූ බව කියැවෙයි.
"මැලේසියාව මතය යැපීමේ තත්ත්වයක් අප තවදුරත් දකින්නේ නැහැ. අපගේ සැපයුම සඳහා තොග ගබඩා කිරීම, දේශීය නිෂ්පාදනය වැඩිකිරීම සහ විදේශීය ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම යන සංකලනයන් සමඟ මෙම අවිනිශ්චිතතාව කළමනාකරණය කිරීමට අපට මුල සිටම සැලසුම් තිබුණා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
"අපගේ සුපුරුදු සැපයුම් මාර්ග කඩාකප්පල් වුවහොත් විකල්ප සැපයුම් ගෙන ඒමට අපට අවස්ථාවක් පවතිනවා" අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.