ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ආසන්න දින දෙකේදී කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා කර නොතිබුණද, ගෙවීගිය දිනයේ යළිත් වරක් ආසාදිතයන් දෙදෙනෙකු හා ආසදිත මරණ දෙකක් වාර්තා කර තිබේ.
වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව මෙම දත්ත ඉදරිපත් කර ඇති අතර, වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙම නව අවස්ථා දෙක අනෙකුත් ධනාත්මක සිද්ධීන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අය බවය.
කෙසේ වෙතත් සිදුව ඇති මරණ ද්විත්වය වයස අවුරුදු 70 සහ 80 වයසේ පසුවූවන් දෙදෛනකු බවත්, මෙම මරණ දෙක මීට සති කිහිපයකට පෙර සිදුව තිබුණත්, ඒවා කොරෝනා වෛරසය ආශ්රිත මරණ බවට තහවුරු කරගෙන ඇත්තේ ගෙවීගිය දිනයේදී බවත් මහ ඇමතිවරයා පවසා තිබේ.
මාස කිහිපයක් දැඩි අගුලු දැමීමකින් පසුව ඊයේ දිනයේ මෙල්බර්න් නගරයේ පැවති සීමා ඉවත් කිරීමත් සමග මෙම නව ආසාදන සිද්ධීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
විශේෂයෙන්ම සිල්ලර වෙළෙඳ සැල්, භෝජනාගාර සහ අවන්හල්, රූපලාවණ්‍යාගාර සහ මත්පැන්හල් නැවත විවෘත කිරීමත් සමග වෘත්තිකයන් 180,000ක් නැවත සේවයට පැමිණෙන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස මහ ඇමතිවරයා වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
"ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි" ඇන්ඩෘස් වැඩිදුරටත් පැවසීය.