හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්රදේශයේදී අද (24දා) අලුයම ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසි සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්රදේශයේ ආරුමුගම් නමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ සිට යාපනය දක්වා භාණ්ඩ තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරියක් ආපදාවට ලක්වීම නිසා හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කල්ලිය ප්රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබී ඇති අතර කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ කුඩා ප්රමාණයේ ලොරියක් ආපදාවට ලක්ව තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනා හලාවත සහ මුන්දලම රෝහල්වලට ප්රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය සිදුකරයි.
