කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදු විය. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන සමූහයක් ප්රදානය කළේය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කළ PS/CSA/16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් ත්‍රිවීල් රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසිං ණය වාරික අය කර ගැනීම මාස හයකට (06) අත්හිටවනු ලැබීය.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත යොමු කරන ලද PS/CSA/18/2020 චක්‍රලේඛයේ 09 වැනි වගන්තියෙහි ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා යොදාගන්නා මෝටර් රථ ආදී ස්වයං රැකියාවල නිරත පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරිණි.
මෙබඳු සහනයක් ප්රදානය කර තිබියදීත් ඇතැම් ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12දා) පොලීසියට නියෝග කළේය.
ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් හය මසක සහන කාලය අවසන්වන තුරු භාර නොගන්නැයි ද ඔහු වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය.
එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීම ද නීති විරෝධි බැවින් එවැනි පැමිණිලි භාර නොගත යුතු බවට ජනාධිපතිවරයා පොලීසියට නියෝග කර ඇත.