ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ගෙවීම පැහැරහැර තිබූ රුපියල් කෝටි 16කට අධික වාර්ෂික බදු මුදල මාස දෙකක කාලයක් තුළ මහජන උපයෝගිතා කොමිසමට ගෙවීමට කොළඹ දිසා විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය ඊයේ (17දා) නියම කළාය.
ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 16කට අධික මුදල ගෙවීම පැහැරහැර ඇති හෙයින් විදුලිබල මණ්ඩලයේ දේපළ තහනම් කොට එම මුදල අය කරදෙන්නැයි ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසම ගොනුකොට ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී එම වාර්ෂික බදු මුදල ගෙවීම සඳහා මාස දෙකක කාලයක් ලබාදෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.
ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 16කට අධික මුදල ගෙවීම පැහැරහැර ඇති හෙයින් විදුලිබල මණ්ඩලයේ දේපළ තහනම් කොට එම මුදල අය කර දෙන්නැයි ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් හයෙහි වගඋත්තරකරු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කොට ඇත.
විදුලිබල මණ්ඩලය 2018 වර්ෂය සඳහා මහජන උපයෝගිතා කොමිසමට රුපියල් 162,066,600ක බදු මුදල් ගෙවිය යුතු බවද, එම බදු මුදල් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇතත් ඔවුන් එම බදු මුදල් ගෙවා නැතැයිද, බදු මුදල් ගෙවන ලෙස දැනුම්දෙමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට යවනු ලැබූ ලිපියකට පිළිතුරු සපයමින් මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සමග කිසිදු සහයෝගයක් නොපවත්වන බවට ඔවුන්ගේ ඉංජිනේරු සංගමය තීරණය කොට ඇති හෙයින් බදු මුදල් ගෙවීමට කරන ඉල්ලීම ප්රතික්ෂේප කරන බවද දැනුම් දී ඇතැයිද පැවසූ මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා ලංකා විදුලිබල මණ්ඩලය එලෙස බදු මුදල් නොගෙවීමෙන් විදුලිබල පනත උල්ලංඝනය කොට ඇතැයිද, එහෙයින් මණ්ඩලයේ දේපළ තහනම් කොට අදාළ බදු මුදල් අයකර දෙන්නැයිද ඉල්ලීමක් කළේය.
බදු මුදල් ගෙවන ලෙස දැනුම්දෙමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට යවනු ලැබූ ලිපියකට පිළිතුරු සපයමින් එවා ඇති ලිපිය අනුව මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් හබයක් ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායක මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට අදාළ වාර්ෂික බදු මුදල ගෙවීමට ඇති බව පිළිගන්නේ යැයි දැනුම් දුන්නේය.
එම බදු මුදල ගෙවීම සඳහා තම සේවාදායක මණ්ඩලයට මාස දෙකක කාලයක් ලබා දෙන්නැයි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ඉල්ලීමක් කලේය.
මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකාර මණ්ඩලයට බදු මුදල් ගෙවීම සඳහා මාස දෙකක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය මාස දෙකක කාලයක් තුළ අදාළ බදු මුදල මහජන උපයෝගිතා කොමිසමට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලයට නියම කළාය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දුශ්මන්ත පීරිස් මහතාගේ උපදෙස් මත නීතිඥ විජය ගමගේ මහතා සමග ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා පෙනී සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් නීතිඥ රංග දයානන්ද මහතා සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු