ලිට්රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය නොමැතිව ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මතා පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගය මේ සම්බන්දයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව අද (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මෙලෙස වෙනස් ආකරයෙන් ගෑස් සිලින්ඩර් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම සමාගමට නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිදාන වලට පටහැනිව රාජ්‍ය හෝ පුද්ගලික ආයතන කටයුතු කරන්නේ නම් ඒ සඳහා නඩු පැවරීමේ වගකීම තමා භාර ගන්නා බවත් එහිදී අදහස් පළ කරමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර මෙරට ගෑස් වෙළද පොල පිළිබද අධ්‍යනය කර වඩා වාසිදායක තත්වයක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මන්ත්‍රී කබීර් හෂීම් මහතා - ලීටර් 18 ගෑස් සිලින්ඩරය දාලා තිබෙනවා වෙළඳපොලට පාරිභෝගික අධිකාරියේ අනුමැතියක් නැතිව. ඒක නීති විරෝධියි. පාරිභෝගික අධිකාරියෙන් ඊට විරුද්ධව නඩු දාන්න කියලා සභාපතිවරයා ලිට්රෝ සමාගමට ලිඛිතව දීලා තිබුණා. ඒකට ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. මේක හොර වැඩක්. අපි ඒකට අධිකරණයට යනවා. දැන් වන විට ජනාධිපතිවරයාටත් ලිපියක් යොමු කරලා තිබෙනවා පාරිභෝගික අධිකාරිය. ඒ ලිපි සියල්ල අපි ගාව තිබෙනවා. ඇමතිවරු දෙදෙනා මේකට කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන - මේ වෙනස් ආකාරයක ගෑස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නඩු පැවරීම් කිරීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන තිබෙනවා. කවුරුත් කළබල වෙන්න අවශ්‍ය නෑ. කවුරුහරි කෙනෙක් රජය හෝ රාජ්‍ය ආයතනයක් හෝ පුද්ගලික ආයතනයක් පනතේ විදිවිදාන වලට පටහැනිව කටයුතු කරලා තිබෙනවා නම් ඒ පිළිබද නඩු පැවරීමේ වගකීම මම භාර ගන්නවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් - ලීටර් 18 සිලින්ඩරයේ තිබෙන ගෑස් ප්‍රමාණය කිලෝ 9යි. ඒකෙන් මිල වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. පාරිභොගික අධිකාරියේ අනුමැතිය නැතිව පනත අනුව ඒක කරන්න බෑ. දැන් මාස 2ක් අලෙවි කරනවා. ඇයි තවම නැවැත්තුවේ නැත්තේ. දැන් මේක ලාෆ් ගෑස් එකත් කරන්න බලාපොරොත්තු වෙනවා.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන - නඩු දානකන් ඉන්න. තමුන්නාන්සේලාගේ කාලයේ වගේ නඩු පටලවලා කිසිදු වරදක් නොකල මිනිස්සු ගෙනියලා දඩු කදේ ගහන ඒකාධිපති ක්‍රමය අපේ ආණ්ඩුවේ නෑ. නීතියකට අනුව තමයි මේක කරන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් - ලිට්රෝ සමාගම රාජ්‍ය ආයතනයක්. ඒකට වෙළඳපොලේ 75%ක් තිබෙනවා. ලාෆ් ගෑස් සමාගම බිලියන 23ක් ණයයි. ඔවුන්ට වෙළද පොලේ වැඩි ප්‍රමාණයක් නෑ. ඔබතුමන්ලා ලාෆ් සමාගම ලිට්රෝ සමාගමට එකතු කර ගන්න යනවාද?
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන - ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් කැබිනට අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තිබෙනවා ලංකාවේ ගෑස් වෙළඳපොල පිළිබඳ අධ්‍යනය කරලා වඩා වාසිදායක තත්වයක් නිර්මාණය කරන්නේ කෙසේද කියලා සොයන්න කියලා. ඒ කැබිනට් කමිටුව විසින් යෝජනාව ඉදිරිපත් කළාම ඔබට දැනුම් දෙන්නම්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් - ලිට්රෝ සමාගමේ සභාපතිවරයා කෝප් කමිටුවට වාර්තා කරන්නේ නෑ කියලා කෝප් එක කියනවා. මේක ඇත්තද?
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන - එහෙම කෝප් එකට ඉදිරිපත් කරන්නේ නැතිව ඉන්න බෑ කාටවත්. එහෙම නොදී ඉන්න නම් අපි ලබා දෙන්න කියලා කියනවා.