කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා භයානක ලෙස පැතිර යමින් පවතින මේ අවස්ථාවේ ගෝලීය සටන් විරාමයක් සඳහා තමාට පිටුබලය ඇති බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සහාය ලබාගැනීමටද තමාට හැකි වනු ඇති බවත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කියයි.
ප්‍රංශ ගුවන් විදුලිය ඔස්සේ අදහස් දක්වමින් මැක්රොන් කියා සිටියේ ගෝලීය සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් විසින් කරනලද ඉල්ලීමකට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් කිහිප දෙනෙකුගේ එකඟතාව තමන් මේ වනවිටත් ලබා ගත් බවයි.
අඟහරුවාදා ප්‍රංශ ගුවන් විදුලියේ ජනාධිපතිවරයා සමග සිදුකළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී මැක්රොන් කියා සිටියේ එක්සත් ජනපදය, චීනය සහ එක්සත් රාජධානිය එහි සිටින බවත් ඔහු රුසියාව ගැන සුභවාදී වන බවත්ය.
"ජනාධිපති ෂී ජින්පිං ඔහුගේ එකඟතාවය මට තහවුරු කළා" මැක්රොන් පැවසීය. "ජනාධිපති ට්‍රම්ප් මට ඔහුගේ එකඟතාව තහවුරු කළා. අගමැති බොරිස් ජොන්සන් මට ඔහුගේ එකඟතාවය ස්ථිර කළා. ජනාධිපති පුටින් ද අනිවාර්යයෙන්ම එකඟ වනු ඇතැයි මා විශ්වාස කරනවා."
කෙසේ වෙතත් මැක්රොන් එම ලෝක නායකයන් සමග සිදුකළ සංවාද පිළිබඳ වැඩි විස්තර පවසා සිටියේ නැත.
මේ අතර එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් කියා සිටියේ මැක්රොන්ගේ අදහස් දැක්වීම් මාධ්‍ය වාර්තා දුටු නමුත් එය තම සංවිධානය වෙත මෙතෙක් තහවුරු කර නොමැති බවයි. එමෙන්ම ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් පමණක් නොව, සමස්ත ආරක්ෂක කවුන්සිලයෙන් එක්සත් ජාතීන් වෙත ලැබෙන 'ඕනෑම ඒකාබද්ධ ඇමතුමක් පිළිගන්නා' බව ඩුජරික් පැවසීය.
ඉරිදා පාස්කු උත්සවයෙන් පසු විශේෂ දේශනයකින් 'ක්ෂණික ගෝලීය සටන් විරාමයක්' සහ 'ආයුධ නිෂ්පාදනය නතර කරන' ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමාද ඉල්ලා සිටියහ.
"මෙය අඛණ්ඩව ආයුධ නිෂ්පාදනය හා වෙළෙඳාම් කිරීම සඳහා කාලය නොවෙයි. අන්‍යයන් රැකබලා ගැනීම සහ ජීවිත බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය කළ යුතු අවස්ථාක්." පාප් තුමන් පැවසූහ.
මාර්තු 23 වැනි දින එක්සත් ජතානීන්ගේ මහ ලේකම් ගුටාරෙස් අනතුරු ඇඟවූයේ යුද්ධයෙන් විනාශ වූ රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටී ඇති අතර, ඉතිරි වී ඇති සෞඛ්‍ය වෘත්තිකයන් සුළු පිරිසක් බොහෝ විට සටනට ඉලක්ක කර ඇති බවයි.
"වෛරසයේ කෝපය යුද්ධයේ මෝඩකම විදහා දක්වනවා" යැයි ගුටරෙස් මාර්තු මාසයේ ට්විටර් ගිණුම හරහා පැවසීය. "අද මම ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ෂණික ගෝලීය සටන් විරාමයක් ඉල්ලා සිටිනවා. සන්නද්ධ ගැටුම් නවතා දමා අපගේ ජීවිතයේ සැබෑ සටන කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයයි."
අප්‍රේල් 3 වැනි දින ගුටරෙස් සිය ඉල්ලීම යළිත් කියා සිටියේ "අද අපේ ලෝකයේ එකම සටනක් තිබිය යුතුයි. ඒ කොවිඩ් -19 ට එරෙහි අපගේ ඒකාබද්ධ සටනයි" යනුවෙනි. "බොහෝ තීරණාත්මක අවස්ථාවන්හිදී අපි සටන් කිරීමට ඉඩ නොදුන් අතර, සමහර ගැටුම් තීව්ර වුණා."
සදාකාලික සාමයේ පූර්ව අවශ්‍යතාවක් ලෙස සටන් විරාම කරා ගමන් කිරීම සඳහා තමාගේ නියෝජිතයින් යේමනය, සිරියාව, ලිබියාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල සේවය කරන බව මහලේකම්වරයා පැවසීය.
"වසංගතය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සම්බන්ධව ගැඹුරු සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිවිපාක ඇති බව අපි දන්නවා. උදාහරණයක් ලෙස මැතිවරණය කල් දැමීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පිළිබඳ සීමාවන්, සංචාර සඳහා සීමාවන්, විරැකියාව ඉහළ යාම සහ වැඩිවන අතෘප්තියට හා දේශපාලන ආතතීන්ට හේතු විය හැකි වෙනත් සාධක අප දකිනවා. ඒ වගේම වෛරසය පැතිරීම හේතුවෙන් ඇති වන ගෝලීය අවිනිශ්චිතතාවයෙන් ප්‍රයෝජන ගැනීමට ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායම් උත්සාහ කළ හැකියි" යනුවෙන් ගුටරෙස් වැඩිදුරටත් පැවසීය.