ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ. - 380 (A-380) වර්ගයේ ගුවන් යානයක්, එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා අද (28දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය.
ඊ.කේ.- 408 දරණ එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර, එහි මගීන් 420 ක් සහ කාර්යය මණ්ඩලය 22 ක් සිටියහ.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගුවන් ගනිමින් තිබියදී , එම යානයේ සේවය කළ 32 හැවිරිදි කාර්යය මණ්ඩල සාමාජිකයකුට උදරාබාධයක් වැළදීම නිසා, මෙම ගුවන් යානය 12/28 දින උදෑසන 10.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්වා තිබේ.
ඉන් පසුව මෙම ගුවන් යානයට රුපියල් 72 ලක්ෂයක් වටිනා , ගුවන් යානා ඉන්ධන ලීටර් 65,000 ක් ද ලබා දුන් බව ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථා ප්‍රකාශකවරයෙකු පැවසීය.
පසුව මෙම ගුවන් යානය දහවල් 12.15 ට යළිත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය 22 දා එටිහැඩ් ගුවන් සමාගමට අයත් ඊ.ටී.ඩී. 454 දරණ ඒ 380 එයා බස් ගුවන් යානය ඩුබායි සිට මෙල්බර්න් නුවර දක්වා ගමන් කරමින් තිබෙන විට එහි ගුවන් මගියෙක් අසනීප වීම නිසා කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්සවනු ලැබීය.
ටී.කේ.ජි. කපිල