ලංකාවේ දරු උපත්වලින් සියයට 10ක් නොමේරු දරු උපත්
නොවැම්බර් 15 දිනට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය හා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) පරිශ්‍රයේ පිහිටි Courtyard by Marriott හෝටලයේදී පැවැත්විණි.
නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳව සමාජයේ අවබෝධය පුළුල් කිරීම සහ එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බවත්, එම දරුවාගේ ඉදිරි ජීවිතය නිරෝගීව හා සාමාන්‍ය වර්ධනයක් සහිතව ගොඩනැඟීම සඳහා අඛණ්ඩ පසු විපරම් සත්කාර අත්‍යවශ්‍ය වන බවත් පැවසීය.
විශේෂයෙන්ම නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන නොමේරූ ළදරුවන් කෙරෙහි ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, නිසි පසු විපරම් හා සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.
මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ අවධානයක් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද අගය කළේය.
එමෙන්ම, නොමේරූ ළදරුවන්ට අවශ්‍ය සත්කාර සහ රැකවරණය සැලසීම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පමණක් වගකීමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඒ සඳහා වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ ද ශක්තිමත් සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. සෑම නොමේරූ ළදරුවකුටම ජීවිතයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට අවශ්‍ය රැකවරණය සහ අවස්ථා හිමිවිය යුතු බවත්, ඒ වෙනුවෙන් සාමූහික වගකීමකින් කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ විද්වත් කතිකාවතක් ද මෙහිදී පැවැත්වුණු අතර, නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද එළිදක්වන ලදී.
මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් ආසන්න වශයෙන් සියයට 10ක් නොමේරූ දරු උපත් බව දත්ත පෙන්වා දෙයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නොමේරූ ලෙස උපත ලබන ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ ගොස් තිබුණ ද, ඔවුන්ගේ සෞඛ්‍යය හා වර්ධනය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නිසි වෛද්‍ය සත්කාර සහ දිගුකාලීන පසු විපරම් සේවාවන් අත්‍යවශ්‍ය වේ. එමඟින් නොමේරූ උපත් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට මෙන්ම පවුල් සහ සමස්ත සමාජය මත ඇතිවන දිගුකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කිරීමට ද හැකියාව ලැබේ.
මාතෘ, භ්රෑණ සහ නවජාත සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පරිජන්ම සංගමය, ප්‍රසව හා නාරිවේදය, ළමා රෝග සහ නවජාත සත්කාර ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන බහුවිෂය වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයකි. විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ මාතෘ හා ළදරු සෞඛ්‍ය සේවාවන්හි ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම එම සංගමයේ ප්‍රධාන අරමුණු අතර වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
