ලංකාවේ ඒක පුද්ගල සීනි පරිභෝජනය වසරකට කිලෝ 34ක්
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
විවිධ රට වල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කල යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර ඇත.
ඒ අනුව මාර්තු මස 10 දින සිට සිට නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීම කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
මෙහිදි පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළ දී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදි මුඛ සෞඛ්‍යයට අදාල ප්‍රශ්ණාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරිමත් නියමිතය.
මෙම සමික්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරිමට අතිශය වැදගත්වන බැවින් ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවැති අතර, මෙම මාධ්‍ය හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශය සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) අංශය එක්ව සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාවට සම්පත් දායකයින් ලෙස සහභාගි වු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා)විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක සහ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ සම්බන්ධීකාරකවරුන් ලෙස විශේෂඥ වෛද්‍ය ධනුෂි වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය අමා නානායක්කාර යන මහත්ම මහත්මීන් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 පිළිබඳව අදහස් දක්වන ලදි.
මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා කියා සිටියේ මෙවැනි මුඛ සෞඛ්‍ය සමික්ෂණයක් අඛණ්ඩව සිදු කළ ලෝකයේ රටවල් කිහිපයක් පමණක් වන බවත්, ලංකාව ඒ එටවල් අතරින් එකක් බවයි. මෙම මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ශ්‍රී ලංකාවේ විශේෂඥ දැනුම, සැළසුම් සහිතව මෙරට තුළ සම්පත් භාවිතයෙන් සිදු කරන බවත්, සමික්ෂණයේ ප්‍රධාන සමික්ෂක නිලධාරියාගේ සිට සියළුම සමික්ෂකවරු මෙරට රාජ්‍ය සේවාවේ නියුතු දන්ත වෛද්‍ය නිලධාරින් සහ පාසල් දන්ත චිකිත්සක නිලධාරිවරියන් බවද පැවසිය. මෙම සමික්ෂණය සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු, දිස්ත්‍රික් දන්ත ශල්‍ය නිලධාරින්ගේ ද සහයෝගය ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමන්ට අනුව සිදු කෙරෙන බව ද පැවැසීය.
මෙරට අවසන් ජාතික මුඛ සෞඛ්‍ය සමික්ෂණ දෙස බැලූ විට මෙරට පාසල් ළමුන්ගේ සහ වැඩිහිටි ජනතාවගේ මුඛ සෞඛ්‍ය ක්‍රමිකව වැඩිදියුණු වී ප්‍රගතියක් දැකිය හැකි බව ද, පස්වන මුඛ සෞඛ්‍ය සමීක්ෂණය තුළින් පසුගිය කාලය තුළ මුඛ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සිදු කළ වැඩසටහන්වල ප්‍රගතිය නිරික්ෂණය කළ හැකි බවද ඒ මහතා පැවැසිය. අද වනවිට මෙරට පැණි රස ආහාර සඳහා ඔිනෑ තරම් ආදේශක වන බවත්, පැණි රස වෙනුවට වෙනත් ආහාරයට යොමුවීමේ වැදගත්කම ද පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය Suger Tax නැවැත බලාත්මක කිරිම පිළිබඳව අවධානය යොමු කරන බව ද මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති ප්‍රාථමික සත්කාර වැඩිදියුණූ කිරිමේ ක්‍රමවේදය යටතේ ප්‍රාථමික සත්කාර අංශයේ එක් අංශයක් ලෙස මුඛ සෞඛ්‍ය හදුනාගෙන ඇති බව ද වැඩිදුරටත් පැවැසිය.
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රධාන සමීක්ෂක වන විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා කියා සිටියේ පළමු ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 1982-1983 වර්ෂයන් වලත්, අවසන් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2015-2016 වර්ෂවල පවත්වා ඇති බවයි.
මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමික්ෂණයට අනුව මෙරට අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම සියයට 30 ක ප්‍රතිශතයක් වන බවත්, මෙරට පළමු මුඛ සෞඛ්‍ය සමික්ෂණයේ එම තත්ත්වය සියයට 70 කට ආසන්න බවද පැවසීය. එමෙන්ම වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය සියයට 50 ක් බව ද ඒ අනුව වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට විදුරුමස් රෝග වන බව ද පෙන්වා දෙන ලදි. වයස අවුරුදු 05 දරුවන්ගේ දත් දිරායාම අවසාන මුඛ සෞඛ්‍ය සමික්ෂණයට අනුව සියයට 63 ක් බව ද ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ද පැවැසිය.
මෙම සමික්ෂණයේ දී මුඛ රෝග සඳහා බලපාන අවධානම් සාධක පිළිබඳව ද අවධානය යොමු කරන බවත්, එහිදී මෙරට සීනි පරිභෝජනය පිළිබඳ දත්ත රැස් කරන බව ද මෙරට සීනි පරිභෝජනය වැඩි අගයක් ගන්නා බව ද පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නිරෝගී පුද්ගලයෙකු නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතු බව ද නමුත් දළ වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් භාවිතා කරන බව ද ඒ මහතා අවධාරණය කරන ලදි.
එමෙන්ම මුඛ සෞඛ්‍යයට බලපෑ වෙනත් දේ ද පසුගිය වසර 10 තුළ වන බවත් උදාහරණ ලෙස කොවිඩ් වසංගතය, ආර්ථීක අර්බුදධය පෙන්වා දිය හැකි බව ද ඒ මහතා පෙන්වා දෙන ලදි. දත්ත ලබාගැනිම සඳහා වෛද්‍යවරු ගෙයින් ගෙට යන එකම සමීක්ෂණය මෙය වන බව ද සමික්ෂණයේ ලබාගන්නා දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමෙන් පසු එම දත්ත ජාත්‍යන්තර දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ද වැඩිදුරටත් පැවැසිය.
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය ධනුෂි වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින් මෙම සමීක්ෂණය වයස් කාණ්ඩ 05 ක් යටතේ සිදු කරන බවත්, පාසල් දරුවන් වයස අවුරුදු 05, වයස අවුරුදු 12, වයස අවුරුදු 15 යන වයස් කාණ්ඩ වලින් පාසල් තුළ දි මෙන්ම වැඩිහිටි වයස් කාණ්ඩය වයස අවුරුදු 35-44, අවුරුදු 65-74 වශයෙන් සමික්ෂණයට සම්බන්ධ කර ගන්නා බව ද පැවැසීය.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය අමා නානායක්කාර මහත්මිය මෙහිදි කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම සමික්ෂණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත් දැනට සම්පූර්ණ සමීක්ෂණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 20 ක් බව ද පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
