මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප්රවෘත්ති බවත්, ආණ්ඩුව සහමුලින්ම ක්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
එක අතකින් 70, 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, දරුවන්ට කිරිපිටි ටිකක් නැතිව දෙමව්පියන් සුසුම් හෙළන වකවානුවක් උදාවී ඇති බවද පැවසීය.
සීනි වංචාව, පොල්තෙල් වංචාව සිදුකරමින් ගජ මිතුරන්ට සහන සලසන ආණ්ඩුව මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුවට එය එතරම් අපහසු දෙයක් නොවන බව ද කීය.
කොරෝනා ව්‍යසනය උඝ්ර වන විට පැණි පොවමින් ජීවිත අනතුරට දැමූ හැටි රටේ ජනතාවට හොඳ හැටි මතක ඇති බවද ඒ මහතා පැවසීය.