ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.
දැනට සේවා ස්ථාන සඳහා වාර්තා කරන වේලාවන් සහ පාසල් ආරම්භ කරන වේලාවන් ආසන්න කාලසීමාවක් තුළ පවතින බැවින් දෛනිකව අධික වාහන තදබදයක් නගරාසන්නව පවතී. එම නිසා දිනපතා කාලය මෙන්ම සම්පත් ද අපතේ යාමක් සිදුවන බව පෙනී ගොස් ඇත.
ඒ අනුව ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා අද (09) දින ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී ප්‍රවාහන පහසුකම් නැංවීම සඳහා පත් කරන ලද කමිටුව රැස් වූහ.
එහිදී ප්‍රවාහන සේවා කළමණාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ:
ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුවට ජාතික ගමනාගමන කොමිසම, ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින් පත් කරනු ලැබීය.
ඔවුන් විසින් කාර්යාල වේලාවන් සංශෝධනය සම්බන්ධ නිර්දේශ සතියක් තුළ ලබා දිය යුතු අතර එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත වැඩිදුර අධ්‍යයනය සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතය. ජාතික ගමනාගමන කොමිසම මගින් මේ සම්බන්ධව සමීක්ෂණයක් පැවැත්වීමටත් විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර යහපත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
අද දින පැවති සාකච්ඡාවට ප්‍රවාහන සේවා කළමණකාරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
