සායනික අත්හදා බැලීමේ දත්ත පිළිබඳ දෙවැනි අන්තර් විශ්ලේෂණයකට අනුව රුසියාවේ ස්පුට්නික් වී නව කොරෝනා වෛරස එන්නත 95%ක් ඵලදායී බව එහි සංවර්ධකයන් පවසයි.
පළමු මාත්‍රාවෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත මත මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ගමාලියා විද්‍යාත්මක පර්යේෂණ ආයතනය සහ රුසියානු සෘජු ආයෝජන අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පසුගිය පැය 24 තුළ රුසියාව විසින් නව කොරෝනා වෛරස් රෝගීන් 24,326ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටපුරා සමස්ත ආසාදන 2,138,828ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රට පුරා නව මරණ 491ක් වාර්තා වී ඇති අතර, මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 37,031ක් බවට පත්ව ඇත.
ස්පුට්නික් වී එන්නත සමග මේ වනවිට කරළියේ කතාබහ කෙරෙන මොඩෙර්නා එන්නතත්, ෆයිසර් එන්නතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වනවිට 95%ක් හෝ ඊට ආසන්න ඵලදායීතාවක් ඇති බව අදාළ සමාගම් පවසන අතර, මෙම එන්නත් ඉතා නුදුරේදීම ජනතාව වෙත ලබාදීමට ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් තක්සේරු කිරීම් හා නිරීක්ෂණයන් සිදුකරමින් සිටියි.
ඒ අනුව එන්නත් පිළිබඳ බලාපොරොත්තුව තවදුරටත් වර්ධනය වී ඇති පසුබිමක, දැනට වසංගතය පාලනය කෙරෙන මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු අයුරකින් අතපසු නොකරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බෝවන රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවති.