රවී වෙත්තසිංහ නිදොස් කොට නිදහස්
ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීරණය කළේය.
විත්තිකාර රවී වෙත්තසිංහ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමකින් තොරවම ඔහු නිදොස් කොට නිදහස් කළේය.
2005 සැප්තැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාවලදී ඉඩමක් ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකරු සහ පැමිණිලිකරු අතර ඇති වූ ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, එම ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ නොවන බව සාක්ෂිකරුවෙක් අධිකරණයේදී හෙළි කළේය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවනු ලැබූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේමදැයි හෙළි කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කැඳවීමට අවසර ඉල්ලා සිටි අතර, ඊට අවසර ලැබීණි.
ඒ අනුව නඩු විභාගය අවස්ථාවේදී අදාළ ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේමදැයි හෙළි කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කැඳවනු ලැබූ අතර, ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ අත්සන සමග නොසැසඳෙන බවට රජයේ රස පරීක්ෂවරයා සිය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය අමතමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචකයක් නොකැඳවාම තම සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ සඳමල් රාජපක්ෂ සහ කැලුම් කුමාරසිංහ යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.
popular news
-
rocky Wednesday, 30 January 2019 05:44 AM
උසාවියෙන් නම් නිදහස් වුනා වෙන්න පුළුවනි. ඒත් මුන්නහේ ලෝකෝත්තරයෙක් බව අපි අහල තියනවා. ඉස්සර නම් මෙයාට හුළුගල්ලේ කියල තව හවුල් කාරයෙකුත් හිටිය. රයිගමයයි ගම්පොලයයි වගේ ඒ කාලේ වියාපුරුති කිරියාත්මක කෙරුවේ, මතක නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

