පාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.
මෙම ප්‍රහාරයෙන් සිද්දිඛී සහ ජ්‍යෙෂ්ඨ ඇෆ්ගනිස්ථාන නිලධාරියෙකු ඝාතනය වන අවස්ථාවේදී ඇෆ්ගනිස්ථාන විශේෂ බලකාය ස්පින් බෝල්ඩැක්හි ප්‍රධාන වෙළෙඳ පොළ ප්‍රදේශය නැවත අත්පත් කරගැනීම සඳහා සටන් කරමින් සිටි බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
දකුණු පළාතේ කන්දහාර් හි පිහිටි ඇෆ්ගනිස්ථාන විශේෂ බලකායන් සමග මෙම සතිය මුල සිට සිද්දිඛී මාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ වෙමින් ඇෆ්ගන් කමාන්ඩෝ සහ තලේබාන් සටන්කරුවන් අතර ගැටුම් ආවරණය කරමින් සිටියේය.
රොයිටර් සභාපති මයිකල් ෆ්රීඩන්බර්ග් සහ ප්‍රධාන කර්තෘ ඇලෙස්සැන්ඩ්‍රා ගැලෝනි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කලාපයේ බලධාරීන් සමග කටයුතු කරමින් මේ ඝාතනය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටි බවයි.
"ඩැනිෂ් කැපී පෙනෙන ජනමාධ්‍යවේදියෙක්. ඒ වගේම තම පවුල වෙනුවෙන් කැපවී සිටි ස්වාමිපුරුෂයෙක්. ඔහු ආදරණීය පියෙක් සහ බොහෝ සෙයින් ආදරය කළ මාධ්‍ය සගයෙක්. අප හදවත් ඔහුගේ පවුලේ අය සමග මේ දුක්බර මොහොතේ රැඳී තිබෙනවා." ඔවුන් වැඩිදුරටත් කීය.
ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්දිඛීගේ මරණය පිළිබඳ කම්පනයටත්, තමා අතිශයින් කණගාටුවටත් පත්වූ බවයි. එසේම ඔහුගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කීවේය.
ගැටුම පිළිබඳව වාර්තා කරමින් සිටියදී මුලින් තමාගේ අතට තුවාල සිදුවූ බවත් සිද්දිඛී රොයිටර් පුවත් සේවයට පැවසීය. ඔහුට එහිදී ප්‍රතිකාර ලබාදී ඇත. කෙසේ වෙතත් තලේබාන් සංවිධානය නැවත පහර දෙන විට සිද්දිඛී ප්‍ර දේශයේ ජනතාව සමග කතා කරමින් සිටි බව ඇෆ්ගනිස්ථාන අණ දෙන නිලධාරියා පැවසීය.
මේ අතර තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් කියා සිටියේ, දරුණු සටනක් පැවති ස්ථානයේ මාධ්‍යවේදියෙකු වාර්තා කරන බව තලේබාන් සංවිධානය දැන නොසිටි බවත්, සිද්දිඛී මියගිය ආකාරය ඔවුන්ට පැහැදිලි නැති බවත් කියා සිටියේය.