කොවිඩ්-19 මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් අනිවාර්යයෙන්ම එන්නත් මාත්‍රා සමග සම්බන්ධතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (15දා) පැවති කොවිඩ්-19 මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ටෙඩ්රොස් කියා සිටියේ යුරෝපයේ නිෂ්පාදිත කාණ්ඩ දෙකකින් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමත් සමග රටවල් ගණනාවක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධන එන්නත් භාවිතය අත්හිටුවා ඇති බවයි.
"මෙම සිදුවීම් කොවිඩ්-19 එන්නත සමග සම්බන්ධ වී ඇති බවක් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. නමුත් ඒවා විමර්ශනය කිරීම සාමාන්‍ය සිරිතක්. එමගින් පෙන්නුම් කරන්නේ නිරීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන බව හා ඵලදායී පාලනයන් ක්‍රියාත්මක වන බවයි" ඔහු පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කළේ එන්නත සුරක්ෂිතතාව පිළිබඳ සංවිධානයේ උපදේශක කමිටුව ලබාගත හැකි දත්ත සමාලෝචනය කරමින් සිටින අතරම, අද දිනයේදී රැස්වීමට නියමිත බවයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම් තාවකාලිකව අත්හිටවූ රටවල් අතර ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය, ජර්මනිය, නෙදර්ලන්තය, අයර්ලන්තය, බල්ගේරියාව, ඩෙන්මාර්කය සහ නෝර්වේ, ලක්සම්බර්ග්, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව ආදී රාජ්‍යයන් ඇතුළත් වේ.