මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන තනතුරු මේ වනවිට ලබා දී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වත්තල ප්‍රදේශයේ ඊයේ (24) රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ගැන සිතා ගෙන ආ සංශෝධනයක් නොවන බවයි. එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සැකසීම නව රජයේ අරමුණ බවද ඇමතිවරයා කීවේය.
ප්රශ්නය -
ඔබතුමාට දීලා තියෙන අමාත්‍යාංශයේ කිසිම වැඩක් කරන්න බැහැ කියලා ඔබතුමා නොසතුටින් කියන්නේ ඇත්තද ?
පිළිතුර -
එක පට්ටපල් බොරුවක්. මට දීල තියෙන අමාත්‍යාංශය මේ රටට ලොකු වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. මගේ අමාත්‍යංශය යටතට ගුවන්සේවා සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන වගේ විෂයනුත් එකතුවෙලා තියෙනවා. දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය නංවාලීම තමයි මෙහි මූලික ඉලක්කය.මම ඉතා සතුටින් මට දීපු වගකීම ඉටුකරමින් තිබෙනවා.
ප්රශ්නය -
ඇමතිකම් ලබා දෙද්දී වෙනම විධියකටනේ දීලා තියෙන්නේ. සමහර ඇමතිකම් කියවගන්නත් අමාරුයි.
පිළිතුර -
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව තමයි මේ අමාත්‍යාංශ වලට විෂය පතයක් වෙන් කරලා තියෙන්නේ. පිටරට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට උණ සන්නිපාතය හැදෙන තත්වයක් තමයි මේ රටේ තිබුණේ. ඒක තමයි ආර්ථිකයේ ඇත්ත තත්වය. අද ඒ තත්වය වෙනස් කරලා රටේ දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන ආර්ථික ක්‍රමයක් රට තුළ ගොඩනැගෙමින් යනවා. මේක අද හෙට දවසින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කරලා තිබෙනවා. පහුගිය මැතිවරණයේදී ජනාධිපතිතුමා දිස්ත්‍රික්කය පුරා ගියා. එතනදී කජු ව්‍යාපාරය, මැටි කර්මාන්තය නංවන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම වුණේ. සමහරු මේවා විහිළුවට දකිනවා. පිටරටවල් වලට කොන්ද නමාගෙන ඉන්න පිටරට වලින් යැපෙන උදවිය මේ වැඩපිළිවෙල විහිළුවට ලක් කලත් රටේ දේශිය නිෂ්පාදනයට උනන්දු අයට මේක සුවිශේෂයි.
ප්රශ්නය -
ආණ්ඩුව 19 සංශෝධනය අහෝසි කරන්න හදන්නේ ඇයි?
පිළිතුර -
මේ රටේ සියලු ජන කොටස්වලට සංහිදියාවෙන් ජීවත් විය හැකි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. පහුගිය යහපාලන ආණ්ඩුව හැදුවේ අන්තවාදී දැඩි දේශපාලන පක්ෂ වල වුවමනාවට අනුව සැකසුනු ව්‍යවස්ථා කෙටුම්පතක්. අපි ඒකට විරුද්ධ වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රට ගැන හිතලා ගෙනාපු සංශෝධනයක් නෙමේ. ඒ නිසා එය වෙනස් කරලා එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන එක තමයි අපේ අරමුණ. 19 අනිවාර්යෙන්ම අහෝසි කරනවා. රටට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒක අපි ජනතාවට දුන් පෙරොන්දුවක්. ඒක අපි කරනවා.