රට ජාතිය බේරා ගැනිමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (29) දින කොළඹදී පැවති විවෘත කිරිමේ අවස්ථාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ,
" දියුණුවට පත් ලොව සෑම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණු වූ රටවල්. 1979 වසරේ චීනයේ කළ සංචාරයේදී එරට බයිසිකල් පමණක් වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වුණා. නමුත් අද වන විට එරට මෝටර් රථ පමණක් දැක ගන්න පුළුවන්. අපනයන කර්මාන්තයක් තුළින් චීනය එවැනි දියුණුවකට පත් වුණා.
ඒ වගේම අසල්වැසි ඉන්දියාවත් අපනයනය තුළින් දියුණුවට පත් වෙමින් සිටිනවා. අපනයන වෙළඳ පොළට ගමන් කරන බංගලාදේශය අප අභිභවා යමින් අපනයන ආදායම් උපයන බව සඳහන් කළ යුතුයි. 1991 – 1992 අතර කාලයේ වියට්නාම කර්මාන්ත ඇමති එවක කර්මාන්ත ඇමතිව සිටි මා හමුවීමට පැමිණියා. එලෙස පැමිණ විදේශ ආයෝජන ලබා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා සිදු වුණා. එදා එලෙස සිදු වුවත් අද අපට වියට්නාමයෙන් බොහෝ දේ ඉගෙන ගැනිමට තිබෙනවා.
අපට තිබෙන පළපුරුද්ද යොදා ගෙන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්රාග්ධනය රජය මගින් ලබන වසර කිහිපය තුළ ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් දේශීය ආයෝජන ශක්තිමත් කිරිමට අප පියවර ගන්නවා. අපනයන ආර්ථිකයක් තුළට ගමන් කිරිම හරහා ආර්ථික ගැටලු රැසකට පිළිතුරු ලැබෙන බව සඳහන් කළ යුතුයි.
දේශීය නිෂ්පාදන හා දේශීය ආයෝජන ශක්තිමත් කරමින් විදේශීය ආයෝජන ලබාගැනීම සඳහා අප පියවර ගත යුතුයි. රටේ අපනයනය ඉක්මවා ආනයනය ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරිමේදී ණය ලබා ගැනීමට හෝ එම අපනයන සීමා කිරිමට අපට සිදු වෙනවා.
මෙම ආනයන අපනයන පරතරය පියවීමට සැම විටම ණය ලබාගැනීමට නොහැකියි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන අපනයනය වර්ධනය කිරිම තුළින් අතිරික්තයක් ඇති කර ගැනීමට පියවර ගත යුතුයි. ලබන වසර 05 තුළ එවැනි විශාල අපනයන ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි.
අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී මහා පරිමාණ කර්මාන්ත සඳහා පමණක් සීමා නොවී කුඩා ව්‍යාපාර, සංචාරක ව්‍යාපාර, විශාල හා කුඩා හෝටල්, හෝම් ස්ටේ වැනි සියලූම අංශ අවශ්‍ය වෙනවා. එදා සංචාරකයින් මෙරටට පැමිණෙන විට කාර් හා වෑන් රථ මගින් ප්‍රවාහන කටයුතු සලසා ගත්තා. නමුත් අද ත්‍රිරෝද රථ මගින් ඔවුන් සංචාරයේ යෙදෙනවා. කවර ආකාරයක සංචාර සිදු කළත් ආර්ථිකයට අගයක් එකතු කර ගැනීම අපේ බලාපොරොත්තුවයි” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.