මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීම හරියට අතීසාරයට අමුඩ ගැසීමක් වැනි දෙයක් බවත් විශ්ව විද්‍යාලයෙන් බැහැර කෙරෙන මළ මුත්‍රා කාණු දිගේ මිහින්තලේ වැවට මුදා හැරිම නිසා මෙයින් හමන දුගඳ, හා විෂ බීජ වලින් මේ වන විට නගර වැසියන්ගේ ජීවිතද අවදානමකට ලක් වි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූයේ අද (6දා) මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී විහාරාධිපති හිමිපාණන් මෙසේද පැවැසූහ,
"වර්තමානය වනවිට මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලය අන්තරාකාරී අනතුරුදායක තත්ත්වයකට පත්වූ තැනක් බවට පත්ව තිබෙනවා. මෙම විශ්ව විද්‍යාලයේ කිසිම සැලසුමක් නැතුව තමයි මෙහි පාලන තන්ත්රය කර ගෙන යනු ලබන්නේ. පාලනාධිකාරිය විශේෂයෙන් මේ සියලුම දේවල් වලට වග කියන්න ඕන. මේ නේවාසිකාගාර වලින් පිට කරන මළ මුත්‍රා සහිත අපජලය මිහින්තලේ වැවට මුදා හැරියා. මම සියලුම මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මගින් මේ පිළිබඳව දැනුවත් කළා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ගිහිල්ලා සාකච්ඡා කළා. ඒ කිසිදු සාකච්ඡාවකින් අපට ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඒ වගේම මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමාගේ මූලිකත්වයෙන් අපි සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කළා. එහෙත් විශ්ව විද්‍යාලයේ වගකීමක් දරන කෙනෙක් මේ සාකච්ඡාවකට යොමු කළේ නෑ.
අපි දැනට මාස ගණනාවකට පෙර තමයි මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව හෙළි කලේ. ඒ අනතුරේ උච්චතම අවස්ථාවට අද වෙනකොට පත් වෙලා තිබෙනවා. අද වෙනකොට රජරට විශ්ව විද්‍යාලයේ සිසු දැරියක් ජීවිතක්ෂයට පත් වෙලා. තවත් සිසුන් ගණනාවක් බාහිර අංශ වල ප්‍රතිකාර ලබනවා. තවත් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තවත් කීපදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ. ඒත් සමඟම මේ ළමයින්ගෙ දුප්පත් අම්මලා තාත්තලා ඉඩ කඩම් උකස් තියලා, කණ කර උකස් කරලා තමයි මේ ළමයි සරසවියට එවන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. මේ සරසවිය අනාරක්ෂිත නම් කොහොමද දරුවන්ව අනාගතය වෙනුවෙන් විශ්ව විද්‍යාලයෙන් මිනිස්සු කරලා එළියට යවන්නේ.
විශ්වවිද්‍යාලය තුල කිසිම පිරිසිදුකමක් නැති බව තමයි අපි විශේෂයෙන් සඳහන් කරන්නේ. අද වෙනකොට මේ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලය හැම පැත්තෙන්ම දුගඳ හමනවා අසූචි පිරිච්චි නරා වළක් බවට පත්වෙලා තිබෙනවා. මේ වනවිට ඒ මළමුත්‍රා සියලුම දේවල් මේ වන විටත් මිහින්තලේ වැවට බැහැර කරනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් අවධානයට ලක් කළේ නෑ. විශ්ව විද්‍යාලය වසා දැමීම හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. දහස් ගණනක් උසස් අධ්‍යාපන ලබන මේ ජීවිත සුරක්ෂා කිරීමට පාලනාධිකාරිය බැඳී සිටිනවා. මේ අවදානම් තත්ත්වය පිළිබඳව වරින් වර අපි දැනුවත් කලත් ජීවිතයක් බිලි ගන්නකම් ඒ අය ඇහුවේ නෑ.
සරසවියට පමණක් නොව මේ වනවිට එම ප්‍රදේශයේ ජීවත් වන හැම දෙනාගේම ජීවිත වලට මෙම තත්ත්වය තර්ජනයක් වෙලා. මේ විෂබීජ පැතිරෙමින් පවතිනවා. මේ හේතුවට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කිරීම නොවෙයි කළ යුත්තේ . උපකුලපතිවරයා, රෙජිස්ටාර්වරයා හෝ පාලක සභාව ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් පුළුවන් කෙනෙකුට කර ගෙන යන්න දෙන්න ඕනේ. මේ වට මහා මුදල් කන්දරාවක් ආසියානු සංවර්ධන බැංකුවෙන් හා රජයෙන් ලැබෙනවා. මේ අවශ්‍ය කරන යටිතල පහසුකම් නැංවීම කළ යුතුයි.
පරිසරය පිළිබඳ පාඩම කියලා දුන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ ඉදලා. දරුවන්ගේ පමණක් නොව සතා සීපාවා ගහකොළ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම එදා මෙහිදී රහතන් වහන්සේ තිස්ස රජතුමාට පැහැදිලි කර දුන්නා. ඒ වගේම හැම කෙනෙකුගේම වගකීමක් තමයි මේ හැම දෙනාම ආරක්ෂා කර ගැනීමේ වගකීම. එතනදී තමන්ගේ නිලය හෝ බලය අදාළ වෙන්නෑ මෙතනට. තනතුරක් ලැබුණා නම් ඒ තනතුර දුන්නෙ සියලුම ජීවිත ආරක්ෂා කිරීමට. රජරට සරසවියේ කීර්තිනාමය ආරක්ෂා කිරිමට කටයුතු කරන්න ඕන මේ අය. නැතිනම් අශුචි දුගඳ හමන සරසවියක් බවට පත් කරලා දරු දැරියන්ගේ ජීවිත විනාශයට පත් කරන්න එපා කියලා සිහිපත් කරනවා. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමාගේ අවධානය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා, මීට කඩිනමින් පිළිතුරු ලබා දෙන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
මිහින්තලේ ප්‍රදේශයටත් විශාල තර්ජනයක් වෙලා තිබෙනවා අපජලය. මිහින්තලේ වැවට මුදා හරිනවා කියන්නේ ඒවා මහකනදරා වැවට යනවා. ඊට පස්සේ මහකනදරා වැවේ ජලය පානීය ජල යෝජනා ක්‍රම වලට ලබා ගත්තම මේ ව්‍යසනය, ජාතික ව්‍යසනයක් බවට පත් වෙනවා".
මේ සම්බන්ධයෙන් විමසිම සදහා අප රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා විදෙස්ගතව සිටින බව දුරකථන ක්‍රියාකරු පැවසු අතර වැඩබලන රෙජිස්ටාර් වයි. කරණි මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී, ඒ සම්බන්ධව තමන්ට කිසිවක් ප්‍රකාශ කර නොහැකි යැයි ඒ මහතා පැවසීය.