රජයේ අයවැය පීඩනයට සහායක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප, ඉන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටි ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැටප් තුනක් ලබන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
2020 පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායම මෙන් තුන් ගුණයක වියදමක් දරා ඇති බවත් ඔහු පැවැසීය. අද (11දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මැයි මස රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යෝජනා කර ඇත. දැනටමත් ස්වයං රැකියාලාභීන් බහුතරයකට කිසිදු ආදායමක් නැති අතර පුද්ගලික අංශයේ සේවකයින් බහුතරයක් ගෙදර යැවීම හා ඉතුරුව සිටින සේවකයින්ගේ වැටුප් 40%-60% ප්‍රමාණයකින් කප්පාදුවක් සිදුකර ඇත.
එයට රාජපක්ෂ ආණ්ඩුවේ අනුමැතිය ද ලැබී ඇත. යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයන්ට ලබාදුන් 2020 වැටුප් වර්ධකය හා කළමනාකරන ශ්‍රේණිවලට ලබාදුන් රු. 15,000 ඇතුළු දීමනා සියල්ල ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කප්පාදු කර ඇත.
වැඩකරන ජනයා පාරට වැටෙමින් තිබුණ ද සෞභාග්‍යයේ මාවත ඔස්සේ වැඩකරන විරුවා නොකඩවා රට ගොඩනගන බව මාධ්‍යවලින් ප්‍රචාරය වේ. එකී කූඨ මාධ්‍ය ජවනිකා වලින් නොමග ගොස් නැත්තේ කොවිඩ් 19 වෛරසය පමණක් බව සිතෙන තරමට රැවටිල්ල සිදුකෙරේ.
ජයසුන්දර මහතා මේ ඉල්ලීම සති කිහිපයකට පෙර සිදුකළ විට ඔහු යටතේ සේවය කළ ඉහළ ගනයේ රාජ්‍ය නිලධාරියෙකු මා හට කීවේ පළමු ආදර්ශය ලෙස ආචාර්ය ජයසුන්දර සිය වැටුප පරිත්‍යාග කර ඇති බව ය
ඔහු තවදුරටත් කීවේ ආචාර්ය ජයසුන්දරට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ලෙස වැටුප් තුනක් තිබුණු බව ය. එයින් එකක් රට වෙනුවෙන් පරිත්‍යාග කර එතුමා රටට උතුම් ආදර්ශයක් ලබා දී ඇති සේය. නමුත් වැටුප් තුනක් ලැබීමට සෑම රාජ්‍ය සේවකයෙක්ම ආචාර්ය ජයසුන්දර මෙන් වාසනාවන්ත නැති බව එතුමන්ට අමතක වී ඇත.
අද රටේ ආර්ථික අර්බුදයක් හා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් පවත්නා බව සත්‍යයකි. ආණ්ඩුව රජයේ සේවකයින්ගේ පඩිනඩි ගෙවා ගැනීමට නොහැකි බංකොලොත් තත්වයක් ඇතිවී ඇති බව පැහැදිලිය. ලැබී ඇති තොරතුරු අනුව, 2020 පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායම මෙන් තුන් ගුණයක පමණ වියදමක් දැරීමට භාණ්ඩාගාරයට සිදුව ඇත. (මෙහි ඇත්ත නැත්ත ප්‍රකාශ කිරීම භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම වේ. කෙසේ වෙතත් වැඩකරන විරුවාගේ රටේ දැන් වැඩ කරන්නේ බියගම ඇති සල්ලි අච්චු ගසන මැෂිම පමණකි.)
දශකයකට අධික කාලයක් සිදුවී ඇති මහබැංකු වංචාව, මිග් ගනුදෙනුව, ඇවන්ට් ගාඩ් ගනුදෙනුව, පුත්තලම බලාගාරය, හම්බන්තොට හා කොළඹ වරාය ඉදිකිරීම්, කොළඹ වටිනා ඉඩම් විකිණීම ආදී ක්ෂේත්‍ර හා මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සිදුවූ දැනට විමර්ෂණය කර ඇති වංචාවලට සම්බන්ධ ධනය රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ගජමිතුරු ධනපතීන් රටට පූජා කරන්නේ නම් ජයසුන්දරගේ පඩි භාගේ ඉල්ලීම ගැන වැඩකරන ජනයා සලකා බලනු ඇත. එසේ නොමැතිව ධනපතීන්ට බදු සහන දෙමින්, සහගහන තෙල් බදුවලින් සිය ආණ්ඩු පක්ෂ කණ්ඩායම නඩත්තු කරන ආණ්ඩුවකට වැඩකරන ජනයාට අත තැබීමට ඉඩදිය නොහැකිය.”