වත්මන් ආණ්ඩුවේ රාජපක්ෂ පවුලේ අමාත්‍යවරුන් ආයතන 141ක් පාලනය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
එසේම නිල නොවන මට්ටමින් බැසිල් රාජපක්ෂ මහතා ආයතන හතක් පාලනය කරන බවද ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ අද (23දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර මෙවර අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී අමාත්‍ය ධුර හිමි නොවූ මන්ත්‍රීවරුන් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද සඳහන් කළ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා,
"මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ඇමතිකම් පහක් තියෙනවා. ජනාධිපතිවරයාට, චමල් රාජපක්ෂ මහත්මයාට, නාමල් රාජපක්ෂ මහත්මයාට ඇමති ධුර හිමිවෙලා තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණ බැසිල් රාජපක්ෂ මහත්මයා නිල නොවන මට්ටමින් ආයතන හතක් පාලනය කරනවා.
19 සංශෝධනය අහෝසි කරන්න තියෙන හදිසිය මොකක්ද මේ ආණ්ඩුවට. ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇමෙරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහත්මයාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා රටේ ආර්ථිකය හැසිරවීමේ අමාත්‍යාංශය ඔහුට ලබාදෙන්න.
දැන් අපට ආරංචියි කාර්ය සාදන බළකායේ ඔහුගේ කාර්යාලය තියෙන්නේ අරලියගහ මන්දිරයේ. දැන් සූදානම් වෙනවා ඒ කාර්යාලය මුදල් අමාත්‍යංශයට ගෙනියන්න. ඒකට හේතුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් ඇමතිකම, අගමැතිකම, නිවාස ඇමතිකම සහ අනෙත් ඇමතිකම් සියල්ලම කරන්න බෑනේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාත් පාර්ලිමේන්තු ආවට පස්සේ මෙයාලට ආයතන 200ට වැඩිය පාලනය කරන්න පුළුවන් වෙනවා.
ඒ වගේම බලන්න එස්.බී. දිසානායක මහත්මයා කියන්නේ චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ කාලේ ප්‍රධාන පුද්ගලයෙක්. අද බලන්න එතුමට අද ඇමතිකමක්වත් නෑ. සුසිල් ප්‍රේමජයන්ත්, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨයන්ට අද ඇමතිකම් නෑ. සුසිල් ප්‍රේමජයන්ත් කියන්නේ, හිටපු කැබිනට් ඇමතිවරයෙක්. ජෝන් සෙනවිරත්න කියන්නේ, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්. අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වෙලා හිටිය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්. දැන් මට දැනගන්න ලැබුනා මේ අයට පළාත් සභා මහ ඇමති සටනට දාන්න යනවා කියලා."