රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"රටටත් සෞඛ්‍ය ක්ෂේත්රයටත් විශාල සේවාවක් කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් වන රාජිත සේනාරත්න මහතා අද වන විට රජය ක්‍රියාත්මක කරන මර්දනකාරී දේශපාලන දඩයම තුළ සිරකරුවෙක් බවට පත්වෙලා තියෙනවා. එතුමා නව ලිබරල්වාදී ධනවාදය ප්‍රතික්ෂේප කරලා සමාජ ප්රජාතන්ත්රවාදය සහ මානුෂීය ධනවාදය පිළි අරගෙන පොදුජනතාවගේ ආර්ථික, දේශපාලන, සමාජීය අයිතීන් වෙනුවෙන් හඬක් නැගුව දේශපාලන නායකයෙක්. පැහැදිලිවම මෙය එතුමාගේ ජනතාවාදී දේශපාලනයටත් ඒ වගේම සමගි ජනබලවේගයේ ප්රතිපත්තිවලටත් එල්ල කරන මරු පහරක් හැටියටයි මම දකින්නේ.
එතුමා මේ රටේ සාමාන්‍ය ජනතාව ඖෂධ මාෆියාවෙන් බේරාගත්තා. ගිලන් වෙච්ච ජනතාවට ඉතාමත්ම සුළු මුදලකට බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව සලසා දුන්නා. හෘදයාබාධවලින් පෙළෙන ජනතාවට නොමිලේ ස්ටෙන්ට් ප්‍රතිකාර ලබා දුන්නා. ඒ වගේම අක්ෂි ආබාධවලින් පෙළෙන්නන්ට නොමිලේ කාච ලබා දීමට එතුමා කටයුතු කළා. හැම අවස්ථාවකදීම හැම විටම එතුමා පෙනී සටියේ පොඩි මනුස්සයා වෙනුවෙන්. එතුමාගේ ශ්‍රේෂ්ඨ සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අගය කරමින් ජාත්‍යන්තර තලයේ තනතුරු ලබාදීමත් සමගම එතුමාගේ සමාජ සේවා සෞඛ්‍ය සේවා ගමනට එය විශාල ශක්තියක් වුණා. දේශපාලන කුහකත්වය, ඊර්ෂියාව, පළිගැනීම තුළින් දඩයම් කිරීම කේන්ද්‍ර කරගෙන රාජිත සේනාරත්න මහතාට මේ එල්ල කරන හැම ප්‍රහාරයක්ම එතුමත් සමගි ජනබලවේගයත් විඳදරාගෙන නීත්‍යානුකූල සටනකින් අපි එතුමාව නිදහස් කරගන්නවය කියන එක මේ අවස්ථාවේ අපි කියන්නට ඕනේ.
ඒ වගේම අප රටේ තියෙන නිදහස් අපක්ෂපාතී අධිකරණය හරහා රාජිත සේනාරත්න මහතාට යුක්තිය සාධාරණත්වය ඉටු වෙන බව ස්ථිරයි. එතුමාගේ නිදහස වෙනුවෙන් අපි හැම අවස්ථාවකදීම පෙනී සිටිනවා පමණක් නොවෙයි නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව අපි සටන් කරනවා." යනුවෙන් ද සඳහන් කළේ ය.