මෙතෙක් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා නොකර ලෝකයේ පැතිර යන වසංගතයෙන් බේරී සිටි කුඩා පැසිෆික් දූපතක් වන වනවාටුවේ ප්‍රථම නව කොරෝනා රෝගියා වාර්තා කර තිබේ.
නව කොරොනා වෛරසයට ගොදුරු නොවූ ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකක් වූ වනවාටුවෙන් වාර්තා වන පළමු ආසාදන සිද්ධියට සම්බන්ධ තැනැත්තා එක්සත් ජනපදයේ සංචාරය කර පැමිණි අයෙකු බව කියැවෙයි.
මේ සතියේ, එක්සත් ජනපදයට ගොස් ආපසු පැමිණි 23 හැවිරිදි මෙම පුද්ගලයා නිරෝධායනයට ලක්වෙමින් සිටියදී මෙසේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇත.
නොවැම්බර් 4 වැනි දින නැවත වැනුවාටුව වෙත පැමිණ ඇති මෙම පුද්ගලයා රෝග ලක්ෂණ රහිත කොවිඩ්-19 ආසාදිතයෙකු බව වනුවාටු සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
"ගුවන් යානය තුළදී, පැමිණීමේ ක්‍රියාවලිය පුරාම, නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රවාහනය අතරතුරදී සහ ලියාපදිංචි කිරීමේදී භෞතික දුරස්ථභාවය සහ පුද්ගලික ආරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කර පවත්වා ගෙන යනු ලැබුවා" යනුවෙන් අමාත්‍යාංශය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එසේම ඔහු මේ වනවිට සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති බවද සඳහන් කරයි.
වනුවාටු රජය මෙම කොවිඩ් -19 ආසාදන සිද්ධිය විදේශයන්ගෙන් පැමිණි ආසාදනයක් ලෙස සලකන අතර, වෛරසය පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා බවද කියයි. මේ නිසා පාසල් හෝ සේවා ස්ථාන වසා දමන්නේ හෝ රැස්වීම් සඳහා සීමාවන් පනවන්නේ නැති නමුත්, රට පුරා අත්සේදීම ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව උනන්දු කරවන බව වැඩිදුරටත් අවධාරණය කර තිබේ.