සමගි ජන බලවේගය යටතේ නාමයෝජනා ඉදිරිපත් කළ පිරිසකට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල පිළිබඳ හෙට (16) දිනයේ වැඩිදුර කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් අදාළ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ ඊට අදාළ නඩුව අද (15) කැඳවනු ලැබු අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් මැදිහත් වීමට තලතා අතුකෝරාල, ලක්ෂ්මන් කිරිඇල්ල සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් කල ඉල්ලීමට අධිකරණයේ අවසර ලැබුණේ නැත.
පැමිණිල්ලේ දේශන ඉදිරිපත් කිරීම අද අවසන් වු අතර හෙට වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.
