ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව පූජාවන්හි අවසන් දේව මෙහෙයට පෙර පැවැත්වෙන තීර්තම් දේව මෙහෙය අද (18) දිනයේදී පැවැත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයේ දේව රථ පෙරහැර වැඩම කරවීමේ විශේෂ දේව මෙහෙය ඊයේ (17) දින පැවති අතර එම අවස්ථාව වෙනුවෙන් බැතිමතුන් විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සහභාගී වී සිටියහ.
කෙසේ වෙතත් පසුගිය වසරවලදී බැතිමතුන් ලක්ෂයකට අධික පිරිසක් නල්ලූර් මංගල්‍යය වෙනුවෙන් සහභාගී වූ අතර මෙවර කොරෝනා අවධානම හේතුවෙන් බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබුනු අතර ඇතැම් දේව මෙහෙයන්වලට බැතිමතුන් සීමා කිරීමටද පියවර ගෙන තිබුණි.
නල්ලූර් කෝවිලේ පැවැත්වෙන සෑම දේව මෙහෙයකදීම කොරෝනා වයිරසයෙන් ලෝවැසියා ආරක්ෂා කර දෙන ලෙසටද දෙවියන්ට කන්නලව් කෙරෙන අතර පසුගිය ජූලි මස 24 වනදා ආරම්භ වූ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ලබන 20 වනදා පැවැත්වෙන වයිරවර් විශේෂ දේව මෙහෙයෙන් පසුව වාර්ෂික දේව මෙහෙය අවසන් වෙයි.
