කොවිඩ්-19 පැතිරීම නැවැත්වීම සඳහා යුරෝපය පුරා බොහෝ රටවල් සඳහා ජාතික වශයෙන් අගුලු දැමීමක් හෙවත්, සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ගොස් වසරක් සනිටුහන් වෙයි.
එවැනි සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ගිය රටක් වන ඉතාලිය, රට පුරා එවැනි අගුලු දැමීමක් සිදුකළ ලොව ප්‍රථමයා වී වසරක් ගෙවෙන තැන යළිත් වරක් ජාතික අගුලු දැමීමකට සූදානම් වන බව වාර්තා වෙයි.
එක්සත් රාජධානියේදී ප්‍රථම වරට හඳුනාගත් වෛරසයේ ප්‍රභේදය පැතිරීම හා සම්බන්ධ යැයි සිතන නව ආසාදන රැල්ලකට මුහුණ දීමට ඉතාලිය මහත් පරිශ්‍රමයක් දරමින් සිටීම මීට හේතුවයි.
මෙම ජාතික අගුලු දැමීම හරහා එරට පාස්කු සති අන්තය යෙදෙන අප්‍රේල් 3 සිට 5දා දක්වා සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇති අතර, මෙවැනි අවස්ථාවක ඉතාලියානුවන්ගේ අඛණ්ඩ ඉවසීමේ ගුණය ගැන ඉතාලි අගමැති මාරියෝ ඩ්රැගි එරට ජනතාවට සිය ස්තූතිය පුද කළේය.
"පසුගිය වසන්තයේ සිදුවීම් තවමත් අපගේ මනසෙහි නැවුම්ව පවතිනවා. ඒවා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම අප කරනවා. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව, අද වනවිට වඩාත් සුදුසු සහ සමානුපාතික යැයි විනිශ්චය කර ඇති සීමිත ක්‍රියාමාර්ග අප ගෙන තිබෙනවා." අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.