යුරෝපයේ ඇතිවී තිබෙන කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින නමුත් කලාපයේ ආසාදිතයන් වැඩි වනවිට අවසන් විසඳුම ජාතික වශයෙන් අගුලු දැමීමක් (ලොක්ඩවුන් එකක්) නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසයි.
ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන් සහ සමාජ රැස්වීම් (ජනතා ඒකරාශීවීම්) පාලනය කිරීමෙන් මාස 6ක් තුළ යුරෝපයේ ජීවිත 281,000ක් පමණ බේරාගත හැකි බව ක්ලූජ් අවධාරණය කරයි.
"එදා සම්පූර්ණ ලොක්ඩවුන් එකක් අවසාන විසඳුම හෝ අවස්ථාව වුණා. නමුත් එය මාර්තු මාසයේදී වසංගතය සම්බන්ධයෙන් බොහෝ රටවලට ගත හැකිව තිබූ එකම හා පැහැර හැරිය නොහැකි අවසාන පියවර වුවත්, මේ වනවිට වෛරසය පිළිබඳ බොහෝ දේ දන්නා බැවින් එය අවසාන විසඳුම නොවිය යුතුයි." ක්ලූජ් පැහැදිලි කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, යුරෝපයේ බොහෝ ප්‍රදේශවල නව කොරෝනා වෛරසය ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් පවතින අතර, දැන් එක්සත් ජනපදයේද නව ආසාදිතයන් වැඩිවීම ඉහළ යමින් තිබේ. වසංගතයෙන් දැනට වැඩිපුරම පීඩාවට පත්ව ඇති යුරෝපීය රාජ්‍යයන් පහ වන්නේ, ප්‍රංශය, එක්සත් රාජධානිය, රුසියාව, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා හස්තය කලාපයේ රාජ්‍යයන්ට උපදෙස් දෙන්නේ, ප්‍රාදේශීය වශයෙන්, ඉලක්කගතව, ආසාදිත ප්‍රමාණයට අනුකූල වූ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරන ලෙසය. එමගින් ප්‍රජාවන් සමග සම්බන්ධ වී ක්‍රියාමාර්ග ගැනීමක් මෙන්ම, වසංගතය හමුවේ සමාන්තරව සිදුවන සමාජීය හා ආර්ථික හානිය වළක්වා ගත හැකි බවද ඔවුන් අවධාරණය කරයි.
මෙහිදී කෙටි කාලීනව, ක්ෂණිකව සිදුකළ යුතු සම්බන්ධතා බිඳ දැමීමේ ලොක්ඩවුන් එකක් සම්බන්ධයෙන් වූ කතිකාවතක් එංගලන්තය තුළ එරට විපක්ෂය විසින් කරළියට ගෙන තිබේ. නමුත් ක්ලූජ් පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය සහ ගෘහස්ත හිංසනය ඇතුළුව ඔවුන් ලොක්ඩවුන් තුළ අත්විඳින සමාජීය බලපෑම් ගැන මෙන්ම, ඵලදායී අන්දමින් ආසාදිත සිද්ධි පසුපස ලුහුබැඳීම සහ හෝඩුවාවන් ලබාගැනීම සඳහා කාලය උකහා ගැනීම ගැන රජයන් විසින් සලකා බැලිය යුතු බවයි.