ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත සඳහා යුරෝපීය කොමිසම විසින් කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක් ලබාදී ඇති අතර, ඒ සමග මෙම එන්නත යුරෝපා සංගමයේ බලයලත් පළමු වැනි කොවිඩ්-19 එන්නත බවට පත්විය.
යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් එය හැඳින්වූයේ කොවිඩ්-19 ට එරෙහි යුරෝපා සංගමයේ සටනේ වැදගත් පරිච්ඡේදයක් ලෙසය.
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත සඳහා කොන්දේසි සහිත අලෙවිකරණ අවසරය ලබා දීමෙන් පසු පූර්ව බෙදාහැරීම් සඳහා අවස්ථාව හිමිවෙයි.
වොන් ඩර් ලේන් ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, "යුරෝපීය ඖෂධ ඒජන්සිය මේ එන්නත තරයේ තක්සේරු කළා. එය කොවිඩ්-19 ට එරෙහිව ආරක්ෂිත හා ඵලදායී බව නිගමනය කළා." යනුවෙනි.
"අප පොරොන්දු වූ පරිදි, මේ එන්නත සියලුම යුරෝපා සංගම් රටවලට එකම වේලාවක එකම කොන්දේසි මත ලබාගත හැකියි. එන්නතෙහි පළමු කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ බෙල්ජියමේ ෆයිසර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් බෙදාහැරෙනු ඇති. මම මේ වසංගතය අතරතුර නිතරම කිව්වේ, අපි එකට ඉන්නවා කියලයි. එබැවින් යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකියි. මෙය අපේ පළමු එන්නතයි. එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත් තවත් ඒවා ඉක්මනින් අනුමත කරනවා. දෙවැනි එන්නත ලෙස මෙඩොර්නා පිළිබඳව යුරෝපීය ඖෂධ ඒජන්සිය ජනවාරි 6දා සිය මතය ප්‍රකාශ කරනු ඇති." යුරෝපීය කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් කීවාය.