ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මුසාවන් නිසා මේ වනවිට ලෝකය තුළ ඔහුගේ විශ්වසනීයත්වය බංකොලොත් වී ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් පවසයි.
කොවිඩ්-19 හමුවේ චීනය හා ඇමෙරිකාව අතර ඇතිව තිබෙන මතගැටුම මධ්‍යයේ චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක මෙසේ අදහස් දක්වා සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාද, එරට නායක ට්‍රම්ප් මෙන්ම දිගින් දිගටම චීනය වෙත චෝදනා කරන පසුබිමකය.
"ඔහු අතිශය වගකීම් විරහිත දේශපාලනඥයෙකුගේ කොටසක් පරිපූර්ණ කිරීමට ක්‍රියා කර තිබෙනවා. නමුත් ඔහුගේ මුසාවන් විසින්ම ලෝකය තුළ ඔහුගේ විශ්වසනීයත්වය බංකොලොත් කරලා" ෂාවෝ ලිජියන් පැවසීය.
එහිදී චීනයට දොස් පැවරීමට වඩා, නව කොරෝනා වෛරස වසංගතය පාලනය සඳහා එක්සත් ජනපදය දැක්වූ හෝ දක්වන ප්‍රතිචාරය ගැනද ෂාඕ ප්‍රශ්න කළේය.
"එක්සත් ජනපද රජය ජනවාරි සිට මාර්තු දක්වා කිසිදු වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි? මෙතරම් කාලයක් මුඛ ආවරණ පැළඳ නොගන්නා ලෙසට මිනිසුන්ට උපදෙස් දුන්නේ ඇයි? වෛරසය පැතිරීම වැළැක්වීමට අසමත් වූයේ ඇයි?" ඔහු ඇමෙරිකාව ඉදිරියේ ප්‍රශ්න ඉස්මතු කළේය.
මේ අතර චීනය හා ඇමෙරිකාව අතර වසංගතය මෙන්ම, වෙළෙඳාම පිළිබඳ ආතතීන්ද මෑත සතිවලදී උත්සන්න කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය බදාදා නිවේදනය කළේ තායිවානයට තවත් ආයුධ විකිණීම අනුමත කළ බවයි.
ෂාවෝ ඊට ප්‍රතිචාර දක්වමින්, "තායිවානයට එක්සත් ජනපදය විසින් අවි අලෙවි කිරීම ගැන චීනය තදින්ම විරුද්ධ වෙනවා. චීනය හා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් හානි නොකර, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා එක්-චීනයක් ප්‍රතිපත්තිය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශය අනුව කටයුතු කරන ලෙසත්, තායිවානයට ආයුධ අලෙවිය නවත්වන ලෙසත් අප එක්සත් ජනපද පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා." යැයි කියා සිටියේය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් කොරෝනා වසංගතය සම්බනධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාරය යළි යළිත් විවේචනය කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබුණි.
ඔහු කියා සිටියේ චීන රජයට, "වසංගතය පහසුවෙන් නැවැත්විය හැකි නමුත් ඔවුන් එසේ නොකළ" බවකි.
මේ චෝදනාවටද ප්‍රතිචාර දැක්වූ චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන්, "චීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති අතර, සෑම මොහොතකම නිවැරදි කරුණු මත සිට කතා කර තිබෙනවා" යැයි කීවේය.
"මිනිසුන්ගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා සියලු දේ කරන්නට යන්නේ කවුද? ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගෙන් උපරිමයෙන් කටයුතු කරන්නේ කවුද? මා විශ්වාස කරන පරිදි යුක්තිය පවතින්නේ මිනිසුන්ගේ හදවත් තුළයි. ලෝකය එය පැහැදිලිව දකිනු ඇති." අවසන් වශයෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.