මුලතිව් කැණීමකදී කොටින්ගේ තවත් ආයුධ තොගයක් හමුවෙයි
මුලතිව් සුදන්දිරපුරම් ප්රදේශයේදී කොටි සංවිධානය විසින් යුද සමයේ පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක ඊයේ (18දා) සිදු කළ කැණීමකදී මෝටාර් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව සිදු කළ කැණීමකදී මෙම යුද උපකරණ තොගය සොයාගෙන තිබේ.
එහිදී කොටි සංවිධානය විසින් භාවිත කරන ලද බබා මෝටාර් යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක්, ආර්.පී.ජී උණ්ඩ එකක්, ටී.එන්.ටී. ස්ලැබ් එකක්, ටී.එන්.ටී. පෙට්ටියක්, මිලිමීටර් 73, 81 ,122 ,85 , වර්ගයේ මෝටාර් ෆියුස් එක බැගින්, එන්.ආර්.07 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, හඳුනා නොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුළු යුද උපකරණ රැසක් සොයාගෙන තිබේ.
යුද සමයේදී ආරක්ෂක අංශ වෙක් ප්රහාර එල්ල කිරීම සඳහා මෙම කඳවුර කොටි සංවිධානය විසින් ස්ථාපිත කර ඇති බවත් අද (19දා) දිනයේදී තවදුරටත් එහි කැණීම් කටයුතු සිදු කරන බවත් නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

