පොළොන්නරුව මැදිරිගිරිය ප්රදේශයේ නිවසකින් බොම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සමග යුද හමුදා සෙබළෙකු අද (04දා) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව පුලස්තිගම සෝමපුර ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි ළහිරු ධනුෂ්ක කරුණාසේන නමැති හමුදා සේවයෙන් පැනගොස් සිටින විවාහක පුද්ගලයෙකි.
සැකකාර හමුදා සෙබළා අවසාන වරට පුල්මුඩේ ප්රදේශයේ හමුදා කඳවුරක සේවය කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.
මැදිරිගිරිය අංක 275 යාය 06 නව නගරය ප්රදේශයේ නිවසක යුද හමුදාවට අයත් අවි ආයුධ සහ යුද උපකරණ තොගයක් ඇති බවට බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙම ආයුධ තොගය සහ යුද උපකරණ සොයාගෙන තිබේ.
අදාළ නිවසේ මේ වන විට මවක පමණක් පදිංචිව සිටි අතර ඇය පවසන පරිදි තමන්ගේ දරුවන් දෙදෙනෙකු යුද හමුදා සේවයේ නිරත බවත් එයින් එක් පුතෙකු වසර 05කින් පමණ තමන් දැක නැති බවත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළා ඇයගේ අනෙක් පුතා වන අතර ඔහු පොළොන්නරුව සෝමපුර ප්රදේශයේ බිරිඳගේ නිවසේ පදිංචිව සිටින බවත් මීට ටික දිනකට පෙර ඔහු තම නිවසට පැමිණ ගිය බවත් ඇය පවසා තිබේ.
මැදිරිගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.




පොළොන්නරුව - ඩබ්. ඒ පියතිලක