රජය විසින් අපේ රටේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලීම සඳහා මාස 10කට ලබාදුන් රුපියල් 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩ සටහන සඳහා රජය මෙතෙක් වැය කළේ රුපියල් මිලියන 4000ක්. මෙවර අයවැයෙන් එම මුදල රුපියල් මිලියන 5000 දක්වා තවත් මිලියන 1000කින් වැඩි කර තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෝෂණ ඌණතාවලින් පෙළෙන ගැබිණි මව්වරුන් 3000කට පෝෂණ මල්ලක් බැගින් බෙදා දීම සඳහා පැවැති වැඩ සටහනක දීය. අමාත්‍යවරයා තම පුද්ගලික වියදමින් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබිනි.
ඒ සඳහා රජයේ මුදල් රුපියලක්වත් වැය නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වැඩ සටහන අගුණකෙළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-
මහජන නියෝජිතයෝ හැම වෙලාවේම රජයේ මුදල් වැය කිරීමට ම බලා නොසිටිය යුතුයි. තමන්ට හැකි තරමින් මහජනතාවගේ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මහජන නියෝජිතයින් පියවර ගත යුතුයි. රජය විසින් හැම මහජන නියෝජිතයෙකුටම මහජනතාවට සේවය කිරීම සඳහා යම් මුදලක් ලබා දෙනවා. ඒ වුනාට සමහරු අඩු තරමින් ඒ මුදල්වලින් මහජනතාවට බෝක්කුවත්වත් හදලා දෙනවා අපි දැකලා නැහැ.
රජය ලබා දෙන ඒ මුදල්වලට සිදුවන්නේ කුමක්ද කියා දැනගැනීමට මහජනතාවටත් අයිතියක් තිබෙනවා. මම දන්නවා සමහර දේශපාලනඥයින් අවුරුදු තිහ හතළිහක් පාර්ලිමේන්තුවේ සිටියත් තමන්ගේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. සමහරුන්ට ඡන්දදායකයා මතක් වෙන්නේ ඡන්ද කාළෙට විතරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන් 3000ක් පමණ සිටින බව මට තොරතුරු ලැබුනා. මම ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු ලබා ගෙන ඒ හැම ගැබිණි මවකටම පෝෂණ මල්ලක් බැගින් ලබා දීමට කටයුතු යෙදුවා. මේ වනවිට මම මව්වරු 1635කට පෝෂණ මල්ලක් බැගින් මම ලබා දුන්නා.
ඉතිරි සියලු දෙනාටත් එම පෝෂණ මල්ලක් බැගින් ලබා දෙන අතර මෙම වැඩ පිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මම කටයුතු යොදනවා.
රජය විසින් මෙවර අයවැය මගින් ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල ලබා දීමේ කාලය මාස 24ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සඳහා අමතර රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. රජය එම වැඩ පිළීවෙළ ක්‍රියාත්මක කරන අතරතුර මහජන නියෝජිතයින් ද එවැනි සටහන් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මුදල් හොයා ගන්න පුලුවන්.
අපේ රටේ ජනතාව අතර පෝෂණය පිලිබඳ ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. වර්තමානය වන විට එළවළු, මාළු, මස්වර්ග වගේම සහල්වල පවා මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මහජනතාව අතට ලැබෙන මුදල් ප්‍රමාණයන් ද අවම වී තිබෙනවා. ඒ නිසා පෝෂණ තත්ත්වයන් පවත්වාගැනීම ගැන කතා කිරීම විහිළුවක් වෙන්නත් පුලුවන්.
නමුත් ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ වැඩ සටහන් ක්‍රියාත්මක නොකළහොත් පෝෂණ ඌණතා නිසා උපදින දරුවන්ට යම් යම් ශාරිරික හා මානසික සංකූලතා ඇති වෙන්න පුලුවන්. නිරෝගී දරු පරපුරක් මගින් තමයි බුද්ධිමත් පරම්පරාවක් නිර්මාණය වන්නේ. ඒ වගේම අපේ ගම්වල තවමත් ස්වාභාවිකව පෝෂ්‍යදායී ආහාර පාන සපයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක සතුටට කාරණයක්.
මම ආරම්භ කළ මෙම පෝෂණ මල්ලක් බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මම සැලසුම් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.