මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ සාක්කියෙන් මෙම නඩුවේ සාක්කි විමසීම ආරම්භ කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) එලෙස නියම කළේය.
මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්රමනියම්, ඞී.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්විමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම අපරාධයන් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධිචෝදනා 17ක් යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතල තත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වු ආන්දොලනාත්මක තත්ත්වය හේතූවෙන් මෙවැනි සංකීර්ණ, තාක්ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණු වල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
වසර නවයකට පෙර සිදුවු මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති චෝදනා මීට පෙර අවස්ථාවක විවෘත අධිකරණයේදී කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විවෘත අධිකරණය හමුවේ පැවසීම නිසා මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩුව ලබන සැප්තැම්බර් 02 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, අනුජ පේ‍්‍රමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරු ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
