පොසොන් පොහොය දිනයේ තරුණයන් පිරිසක් සමඟ බහින්බස්වී අතින් පයින් හා පොලුවලින් ගුටිබැට හුවමාරු කර ගැනීමේ සිද්ධියකින් හයදෙනෙකු තුවාල ලබා මිහින්තලය රජයේ රෝහලට ඇතුළත්කර තිබෙන අතර සිද්ධියට සැකපිට මිහින්තලය ප්රාදේශිය සභාවේ ශ්රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරයෙකු මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් අද (17දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මිහින්තලය පූජා භූමියේ පැරණි රෝහල ආසන්නයේ පැවති දන්සලක් අසලදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් සිදුවී තිබෙන අතර මත්පැන් හා මුදල් සම්බන්ධයෙන් දෙපිරිස අතර සිදුවු ආරවුලක් නිසා ගුටිබැට හුවමාරුව සිදුව තිබෙන බව අනාවරණය විය.
අත්අඩංගුවට පත්වී සිටින පොදුජන පෙරමුණු මන්ත්රී නිපුන මධුසංක යන අය පූජා භූමියේ වෙළදාමේ නිරත පිරිස්වලින් මත්පැන් බෝතල් දෙක බැගින් හෝ මුදල් ලබාදෙන ලෙස සිදුකල බලපෑමකදී ගැටුම හටගෙන තිබේ.
මන්ත්රීවරයා ඔහුගේ සහෝදරයෙකු ඇතුළු පිරිසක් වෙළදාමේ නිරතවන පිරිස්වලින් පෙහොය දිනයේ (16දා) මත්පැන් හා මුදල් කප්පම් වශයෙන් ලබාගෙන තිබෙන අතර අද අලුයම (17දා) නැවතත් මත්පැන් බෝතල් දෙක බැගින් කප්පම් ලබා ගැනීමට ගිය අවස්ථාවේ ගැටුම හටගෙන තිබේ.
එහිදි දෙපාර්ශවයම පොලුවලින් හා අතින් පයින් ගුටිබැට හුවමාරුකරගෙන තිබෙන අතර වෙළදාමේ නිරතවූ තරුණයන් තිදෙනෙකු ප්රහාරයෙන් තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කර තිබේ.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් තිදෙනා ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර මන්ත්රීවරයා ඇතුළු තිදෙනෙකුත් ප්රහාරයට ලක්වු බව කියමින් ප්රතිකාර සඳහා රෝහල් ගතවී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට ගිය මිහින්තලය පොලීසියේ නිලධාරින්ටත් සැකකාර මන්ත්රීවරයා පරුෂ වචන කියමින් බැණවැදි ඇති අතර ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට මුල්වූ කරුණ මෙතෙක් හරිහැටි අනාවරණය නොවු බව පවසන සිද්ධියට මුල්වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මිහින්තලය පොලීසිය පවසයි. ප්රහාරයෙන් මිහින්තලය අඹතලාගම, සියඹලාගස්වැව, කන්නට්ටිය පදිංචි වයස අවුරුදු 25-30 අතරේ පිරිසක් තුවාල ලබා තිබේ.
මිහින්තලය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත ගුණතිලක මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.