මහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 350ක් සහ රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් ද සමගින් මහනුවර පොලිසියේ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) මහනුවර රෝහල් පටුමගේ දි සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් හෙරොයින් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් බවද පොලිසිය කියයි .
සැකකාර කාන්තාව මිනිස් ඝාතනයක් සිදුකර එම වරද පිළිගැනීමෙන් පසු වසර 9ක සිර දඬුවමක් විඳ නිදහස්ව පැමිණි අයෙකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .
මහනුවර නගරයේ මහා පරිමාණයෙන් මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිට පොලිස් අත්අඩංගුවට පත්ව මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන කාන්තාවක් සමග මෙම කාන්තාව සමීප සම්බන්ධතා පවත්වමින් සිට බෝගම්බර බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ මෙම මත්කුඩු ජාවාරම ආරම්භ කොට තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සැකකාර කාන්තාව විසින් ඇගේ පෙම්වතා ඇසුරු කළ තරුණියක් ඝාතනය කර තිබෙන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේදී ඇය වරද පිළිගැනීම නිසා එයට බරපතළ වැඩ සහිත වසර 9ක සිර දඬුවම් ලැබී තිබෙන බවත් වසර නමයක සිරදඬුවම විඳිමට මාස 8කට පමණ පෙර නිදහස්ව පැමිණ තිබෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක බව පවසන එම කාන්තාව සිරදඬුවම විඳ පැමිණීමෙන් පසු බන්ධනාගාරයේ දී හමුවූ කාන්තාවගේ උපදෙස් මත ඇයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට සම්බන්ධ වී තිබෙන බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. සැකකාරිය සතු බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද පොලීසිය පවසයි .
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි මහනුවර කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝට්ටගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ෂෙන් සෙනවිරත්න