ලබන මහ කන්නයේ සිට වී මිල ඉහල දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
මහවිලච්චිය මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග හා ඇළවේලි සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ මහසෙන් ගොවි සංවිධානයේ ගොවීන් දැනුවත් කිරීම ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය .
“මම බොහොම වගකීමෙන් කියනවා විෂයභාර ඇමතිවරයා හැටියට ලබන කන්නයේ ඉඳලා වී මිල වැඩි කරනවා. මොකද කන්න පහකින් වී මිල වැඩිකරලා නෑ. වී නිෂ්පාදන වියදම ගොඩක් ඉහල ගිහිල්ලා තියෙනවා ඒක නිසා සහතික මිලේ වෙනසක් කරන්න ඕන. දැන් හාල්මිල පළවෙනි වතාවට ගැසට් කරලා තියෙනවා ගිය මාසේ තම්බපු නාඩු කිලෝවක් රුපියල් අසූවයි,සම්බා කිලොවක් රුපියල් අසූපහයි.
අපි නාඩු කිලෝ එකක් රුපියල් තිස් අටට ගන්නකොට සම්බා කිලෝ එකක් රුපියල් හතලිස් එකට ගන්නකොට මුදලට සාපේක්ෂව සාධාරණව ඒ පුලුවන් වෙන්න ඕනෑ පාරිභෝගිකයට.
අද කාලේ වී ගොවීන් මැෂින් එකෙන් කපලා තෙත පිටින් විකුණනවා එතකොට රුපියල් තිහක් විතර වෙන්නේ. අන්තිමේදී ගොවියෝ කියනවා වී මිළ අඩුයි කියලා. කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම තීරණය කෙරුවා ගොවි සංවිධාන කිහිපයක් අත්හදා බලන්න එන කන්නයේ වී වේලන මැෂින් ටිකක් ගෙවි සංවිධාන වලට දෙන්න ඒක සාර්ථක වුනොත් අපට පුලුවන් ලංකාවටම ඒ වැඩේ සාර්ථක කරගන්න.
වී කිලෝ එකන් වේලන්න සත විසි පහක්, සතපනහක් වගේ ගානක් යන්නේ හැබැයි ඒ වී ටික වේලලා ගබඩා කරලා තමන්ට තියාගත හැකියි එතකොට අපට උපරිම මිලට දෙන්න පුලුවන්.
අද කාලේ මහා පරිමාන මෝල් හිමියෝ කරන්නේ මේ විදිහට පොඩි වියදමක් කරලා ලොකු ලාභයක් ගන්නවා රුපියල් පහළොවක විතර ලාභයක් ගන්න පුලුවන් අපි බලාපොරොත්තු වෙනවා එක දිස්ත්‍රික්කයකට මැෂින් පනහක් විතර දීලා බලන්න.”