කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු මුඛ ආවරණයක් නිවැරදි ආකාරයෙන් පැලඳීම ඉතා වැදගත් කාරණයක් වුවත්, දුරස්ථභාවයක් නොමැතිව එකට එක්රැස්ව පොදිකෑමට ගියහොත් මුඛ ආවරණයක් පැලඳීමෙන් පමණක් වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් ආරක්ෂා විය නොහැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එක්සත් ජනපද නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනය කොවිඩ්-19 හි පූර්වාරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත. කොවිඩ්-19 වෛරසය කිවිසුම්, කැස්ස හා කතා කිරීමේදී පිටවන ජල බිඳිති මගින් මුදාහැරෙන නිසා මුඛ ආවරණයක් පැලඳීම හා මුහුණට මුහුණලා හෝ ඉදිරිපස අන්තර්ක්‍රියා හැකිතාක් වළක්වා ගැනීමෙන් සම්ප්‍රේෂණය හා පැතිරීම වැළැක්වීමට උපකාරී වන බවට වූ මාර්ගෝපදේශයනයන්ට මෙම අධ්‍යයනයද සහාය ලබාදී තිබේ.
නමුත් මුඛ ආවරණයක් පැලඳ සිටියද, සමාජ දුරස්ථ පියවර අනුගමනය නොකර, ඒකරාශීව, පොදිකෑමට ගියහොත් කිවිසුම් යෑම් හෝ කැස්ස මගින් පිටවන ජල බිඳිති සියලුම ආකාරයේ මුඛ ආවරණ ඔබ 100%ක් හොඳින් පැලඳ සිටියද ඒ හරහා (N95 මුඛ ආවරණ සාපේක්ෂව යම් ආරක්ෂාවක් ලබාදෙයි) බොහෝ පහසුවෙන් ගමන් කළ හැකි බව මෙම අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත.
මෙහිදී පර්යේෂකයන් කැස්ස සහ කිවිසුම් අනුකරණය කිරීම සඳහා යන්ත්‍රයක් භාවිත කර ඇති අතර, මුඛ ආවරණ වර්ග පහක් පරීක්ෂාවට යොදාගෙන තිබුණි. එහිදී පරීක්ෂා කරන ලද මුඛ ආවරණ වූයේ N95 මුඛ ආවරණයක්, ශල්‍ය මුඛ ආවරණයක්, ස්ථර දෙකක රෙදි මුඛ ආවරණයක්, සාමාන්‍ය රෙදි මුඛ ආවරණයක් සහ තෙත ස්ථර දෙකක රෙදි මුඛ ආවරණයක් යන්නයි.
ඒ අනුව මුඛ ආවරණයක් පැලඳ සිටින වෛරස් වාහකයන් අනුකරණය කළ අත්හදා බැලීම්වලදී, බොහෝ කුඩා කිවිසුම් හෝ කැස්ස බිඳිතිවලට තවමත් මුඛ ආවරණයෙන් බේරී සම්ප්‍රේෂණය වීමට සමත්කම් පෙන්වා ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව වෛරසය වාහකයන් මෙන්ම, අවදානමට ලක්වන පුද්ගලයන් හැකි සෑමවිටම සුදුසු මුඛ ආවරණයක් නිවැරදි ආකාරයෙන් පැලඳ සිටීමේ වැදගත්කම මෙම අධ්‍යයනය අවධාරණය කර තිබේ.
"මේ වෛරසයෙන් බේරීමට මුඛ ආවරණයක් නිසැකවම උපකාරී වෙනවා. නමුත් ජනතාව එකිනෙකාට ඉතා සමීප නම්, වෛරසය පැතිරීමට හෝ බෝවීමට තවමත් අවස්ථාවක් තිබෙනවා" යැයි නිව් මෙක්සිකෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක සහ අධ්‍යයන කතුවරිය වන ක්‍රිෂ්ණා කෝටා පවසයි. "ඒ නිසා වෛරසය පාලනයට මුඛ ආවරණයක් පමණක් නොවෙයි, දුරස්ථබව කියන දෙකම අවශ්‍යයයි."
ලොවපුරා මෙවැනි අධ්‍යයන සිදුවද්දී, ඇතැම් අවස්ථාවල මුඛ ආවරණ පැලඳ සහ නොපැලඳ ජනතාව පොදිකන දර්ශන පසුගිය දිනවල බොහෝ අවස්ථාවල දැකිය හැකි විය. මෙවැනි වසංගතයක් හමුවේ ජනතාවගේ විනය, බලධාරීන්ගේ වගකීම ආදී සියල්ල අත්‍යවශ්‍ය බව දැන්වත් සියලු පාර්ශ්ව තේරුම් ගන්නේ නම් පමණක් මෙයින් ඉක්මනින්ම මිදිය හැකි වනු ඇත.