ඩයනා කුමරිය වන තම මවගේ මරණය සමග බියවී සිටි තමන්ට, බිරිඳ වන මේඝන්වද අහිමි වේයැයි මහත් වූ භීතියක් දැනුණු බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරයි.
දශකයකට වැඩි කාලයක් පුරා මව (ඩයනා කුමරිය) අහිමි වීමේ පාඩුව සමග කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ ආකාරය ගැන නවතම රූපවාහිනී වාර්තා වැඩසටහනකදී විස්තරාත්මකව අදහස් දක්වමින් හැරී කුමරු, තම බිරිඳ මේඝන්ද අහිමි වේ යැයි යන බියෙන්, ඔවුන් රාජකීය රාජකාරිවලින් ඉවත්ව පසුගිය වසරේ කැලිෆෝනියාවේ පදිංචියට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියා සිටියි.
ඩයනා කුමරියගේ අවමංගල්‍ය දිනයේ අශ්වයන්ගේ කුර ගැටෙන හඬේ සිට, තමන් කුඩා කාලයේදී පැපරාසීන් විසින් ඔවුන් ගමන් කළ මෝටර් රථයක් පිටුපස හඹා ඒම දක්වා සිදුවීම් සමග හැරී කුමරුගේ සිත තවමත්, තම මව අහිමි වීමේ කම්පනයෙන් හොල්මන් කරන බව සිහිපත් කරයි.
"මගේ මව සුදු ජාතිකයෙකු නොවන අයෙකු සමග සබඳතාවක් පැවැත්වීම නිසා ඇය පසුපස මරණය ලුහුබැන්ඳා. දැන් සිදුවන දේ කුමක්දැයි බලන්න. අප කතා කරන්නේ ඉතිහාසය පුනරාවර්තනය වීමක් ගැනද? ඇය මිය යන තුරුම ඔවුන් නවතින්නේ නැහැ. මගේ මානසික තත්ත්වය ඔබට පෙනෙන්නේ නැහැ" මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තා වැඩසටහනේදී හැරී හඬ අවදි කළේ එලෙසිනි.
"මගේ ජීවිතයෙන් තවත් කාන්තාවක් අහිමි කරවීමට මේ තත්ත්වයන් ඇදහිය නොහැකි තරම් පෙළඹවීමක් කරනවා" හැරී කුමරු බිරිඳ මේඝන් ගැන සඳහන් කරමින් කියයි.
ඩයනා කුමරිය 1997 දී හදිසි අනතුරක් හේතුවෙන් පැරීසියේදී මියයන විට ඇගේ වයස අවුරුදු 36කි. ඇය ඊජිප්තුවේ උපන් සිය පෙම්වතා වූ ඩොඩී අල්ෆයීඩ් සමග ගමන් කරමින් සිටි මෝටර් රථය පැපරාසීන් විසින් ලුහුබැඳ ගිය අතර, ඒ අවස්ථාවේදී ඔවුන් ගමන් කළ රථය අනතුරට පත්විය. එය ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක අනතුරක් වූ අතර, අනතුරින් ඩයනා මෙන්ම ඩොඩීද මියගිය ස්ථානය මොහොතකින් පිරිසිදු කෙරුණේ කුමක් නිසාදැයි තවමත් අබිරහසකි. මේ සිදුවීම වනවිට හැරීගේ වයස අවුරුදු 12කි.
දැන් හැරිගේ ඇමෙරිකානු බිරිඳ මේඝන් ද්වි-වාර්ගික කාන්තාවකි. මේ වනවිට තම බිරිඳ ගැන ප්‍රධාන ධාරාවේ බ්‍රිතාන්‍ය පුවත්පත්වල ජාතිවාදී වාර්තාකරණය ගැන මෙන්ම, සමාජ මාධ්‍යවල අපයෝජනය ගැනද හැරී කතා කරන්නට විය. මේඝන් වරක් පවසා තිබුණේ බ්‍රිතාන්‍යයේදී ඇය ලද අත්දැකීම් නිසා ඇය සිය පුත් ආචී කුස දරමින් සිටියදී සියදිවි නසාගැනීමට තරම් සිතුවිලි ඇතිකළ බවය.
මෙම වාර්තා වැඩසටහනේදී හැරී තම සහෝදර විලියම්, පියා චාල්ස් කුමරු සහ මාමා චාල්ස් ස්පෙන්සර් සමග ලන්ඩනයේ වීදි දිගේ ඩයනාගේ මිනී පෙට්ටිය පිටුපස ඇවිදීම ගැන කතා කළේ මෙලෙසිනි.
"මට වැඩිපුරම මතක ඇති දෙය නම් වීදි දිගේ යන අශ්වයන්ගේ කුර ගැටෙන හඬයි" හැරී පවසයි. "එය හරියට මම මගේ ශරීරයෙන් පිටත සිටින්නාක් වගේ, ඔහේ ඔවුන් සමග මවගේ දේහය පසුපස ඇවිද යමින්, ඔවුන් මගෙන් බලාපොරොත්තු වූ දේ ඉටුකරමින් සිටීමක් පමණයි."
මීට වසර ගණනාවකට පෙර, මවගේ මෝටර් රථයේ පිටුපස වාඩි වී සිටියදී මුහුණදුන් අත්දැකීම් ඔහු සිහිපත් කළේ සැමවිටම පැපරාසීන් සිය රථය ලුහුබඳින විට ඇය කඳුළු සලමින් ගමන් කළ බවය.
"සැමවිටම මා තුළ ඇති වූ එක් හැඟීමක් වන්නේ අසරණ වීමයි. පිරිමි ළමයෙකු වීම සහ කාන්තාවකට උදව් කිරීමට තරම් තරුණ නොවීම මා අත්වින්ඳා. මේ අවස්ථාවේදී ඒ ඔබේ මවට, සෑමදිනමක විඳින්නට වූ ඒ මරණයේ ලුහුබැඳීම වෙනුවෙන් මට යමක් කිරීමට නොහැකි වුණා." හැරී කියයි.
හැරී පැවසුවේ ඔහු තම හැඟීම් වළලා දැමූ නමුත්, වයස අවුරුදු විසි ගණන්වලදී මේ පීඩනයන් නිසාම අධික ලෙස මත්පැන් පානයට යොමුවූ බවය. තමා භීතියට හා කාංසාවට ගොදුරු වූ බවත් කැමරාවන් දුටුවිට තවමත් විකාරසහගත හැඟීමක් ජනිත වන බවත් හැරී පවසයි.
"ඇයට (ඩයනා) සිදු වූ දේ ගැන මට තිබුණේ තරහක්. කිසිසේත් යුක්තියක් තිබුණේ නැහැ. එම උමඟ හරහා ඇයව ලුහුබැඳ ගිය අයම, අනතුරට පත් මෝටර් රථයේ පිටුපස අසුනේ ඇය මියයන අයුරුද ඡායාරූප ගත කළා" හැරී කියයි. "අදටත් කැමරාවක ක්ලික් හඬ සහ කැමරාවල ආලෝකයන් දැල්වීම මගේ රුධිරය උණු කරනවා. ඒක මට තරහක්. එය මගේ අම්මාට සිදු වූ දේ, කුඩා කාලයේ දී මා අත්විඳි දේ වෙත ආපසු මාව රැගෙන යනවා."
දැන් පවා, වයස අවුරුදු 36 දී ලන්ඩනයට නැවත පැමිණෙන විට තමාට නොසන්සුන් බවක් හා තමාව දඩයක් කිරීමක් වැනි හැඟීමක් ඇති වන බවද හැරී පවසයි.
හැරී කියා සිටියේ තමා මීට වසර පහකට පමණ පෙර මේඝන් මුණගැසුණු අවස්ථාව වනවිට දැඩි මානසික වියවුලකින් සිටි බවය. "මේ සම්බන්ධතාවය සාර්ථක වීමට නම්, මගේ අතීතය සමග කටයුතු කරමින්, අතීතයෙන් පාඩම් උගත යුතු බව මම ඉක්මනින් තහවුරු කර ගත්තා." හැරී කියයි. මෙම යුවළ 2018 මැයි මාසයේදී විවාහ වූ අතර, දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ජීවත්වන්නේ සියලු රාජකීය කටයුතු අත්හැර දමමිනි.