ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි අගනුවර වූ මෙල්බර්න් නගරයේ දේශීය කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා නොවී දින 10ක් පසුකර ඇති අතර, මේ තත්ත්වය තුළ නගර වැසියන්ට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිදහසේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මීට පෙර මෙල්බර්න් නගර වාසීන්ට නගරයෙන් පිටතට යා නොහැකි වන සේ දැඩි සීමාවන් පැවති අතර, විශේෂ ආරක්ෂක මුරපොළ ක්‍රියාත්මක විය. ඒ අනුව දින 112ක කාලයක් අගුලු දමා තිබූ මෙල්බර්න් නගරය ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවලින් හුදකලා විය.
ඒ අනුව මෙල්බර්න් වැසියන්ට තම නිවෙස්වලින් කිලෝ මීටර් 25ක් (සැතපුම් 15.5ක) දුර ගමන් කිරීම වළක්වාලීමට මීට පෙර පනවා තිබූ තහනම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉවත් කර තිබේ.
එමෙන්ම ඉදිරියේදී සිනමාහල්, ගැලරි, කෞතුකාගාර සහ සංගීත ශාලා විවෘත කළ හැකි අතර එක් අවස්ථාවක පුද්ගලයන් 20 දෙනෙකුට වඩා රැස්කළ නොහැකි බව කියයි.
පසුගිය ගිම්හානයේදී මෙල්බර්න් නගරය ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව ආසාදන 700ක් ඉක්මවා වාර්තා වූ අතර, එය ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 කේන්ද්‍රස්ථානය බවට පත්විය.
වික්ටෝරියා අගුලු දැමීමට ගත් තීරණය සමහර පුද්ගලයන් අතර ජනප්‍රිය නොවූවත්, සැප්තැම්බර් අග වනවිට ආසාදන ඉලක්කම් දෙකක් දක්වා අඩුකර ගැනීමට එකී දැඩි පියවර හේතු විය. අවසානයේදී දැන් බොහෝ දෙනෙකුට ඒ කැප කිරීමේ ප්‍රතිඵල හිමිව තිබේ.
අගුලු දැමීම අවසන් වූ සතියේ ඔක්තෝබර් 29දා සිට මෙල්බර්න් හි නව කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණ කිසිවක් වාර්තා වී නොමැත. අසල්වැසි නිව් සවුත් වේල්ස් ප්රාන්තයෙන්ද ආසාදන වාර්තා වී නොමැත.