කොවිඩ්-19 බලපෑමත් සමග පැනවූ සංචාරක තහනම හේතුවෙන් මාලදිවයින තුළ සිරවී සිටින තවත් ශ්රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන්ද මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙස එම පිරිස් සහ ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියි.
අද දිනයේදී මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළේ සිට පැමිණි ගුවන් යානයක් මගින් ශ්රී ලාංකිකයන් 288 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන තිබුණි. එහෙත් තවත් විශාල ශ්රී ලාංකිකයන් පිරිසක් මාස තුනකට ආසන්න කාලයක් එහි නගරයේ මෙන්ම දූපත් තුළද සිරවී සිටින බව මෙම පිරිස සඳහන් කර සිටියි. මෙම පිරිස විවිධ රැකියා සඳහා මාලදිවයින වෙත ගිය අයවලුන් වෙයි.
ලක්ෂ පහකට ආසන්න ජනගහනයක් වෙසෙන මාලදිවයින තුළ දැනටමත් කොරෝනා ආසාදිතයන් 955 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතර ශ්රී ලාංකිකයන් පස් දෙනෙකුද වන බවත්, ඔවුන් මේ වනවිට මාලදිවයිනේ රෝහල් තුළ ප්රතිකාර ලබමින් සිටින බවද මෙම පිරිස මෙහිදී සඳහන් කර සිටියි.
මාලේ අගනුවරට අයත් වන වර්ග කිලෝමීටර් 6.5ක් පමණ වන භූමි ප්රමාණයක 150,000කට අධික පිරිසක් ජීවත් වෙමින් සිටීම එහි වෙසෙන ශ්රී ලාංකිකයන් වෙත නව කොරෝනා අවදානම වැඩි කිරීමටද හේතුවී ඇති බවත් එම පිරිස් පෙන්වා දෙයි.
මෙම පිරිස නැවතත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් අප ශ්රී ලංකන් ගුවන් සමාගමෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දුන් එහි නිලධාරියෙකු, යළිත් මාලදිවයින වෙත ගුවන් යානයක් යැවීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, එහි අවසන් තීරණය රජය විසින් ගත යුත්තක් වන බවත් පවසා සිටියේය.